මෙතෙක් කලකට හඳුනාගෙන ඇති පැරණිතම සර්පිලාකාර චක්‍රාවාටය කාචයට හසු කරගන්නට ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය සමත් ව තිබෙනවා. එහි උපත වසර බිලියන 11ක් තරම් ඈතට විහිදෙනවා. එනම් එය හටගන්නා විට මුළු විශ්වය ම හටගෙන ගත ව තිබී ඇත්තේ වසර බිලියන 2ක් පමණයි.
සර්පිලාකාර චක්‍රාවාටයක මධ්‍යයේ තරු පිරී ඇති දණ්ඩක හැඩැති ව්‍යුහයක් දක්නට ලැබෙනවා. සර්පිලාකාර අඬු පිටතට විහිදෙන්නේ එයිනුයි.
ක්ෂීරපථය ද ඇතුළු ව දැනට හඳුනාගෙන ඇති සර්පිලාකාර චක්‍රාවාටවලින් තුනෙන් දෙකක ම මධ්‍යයේ ළදරු තාරකාවලින් ගහන දණ්ඩාකාර ව්‍යුහය අනිවාර්ය ලක්ෂණයක්. විශ්වය හටගැනීම පිළිබඳ පවතින ආකෘතීන්ට අනුව මෙවැනි චක්‍රාවාට බිහි වන්නට ගත්තේ යැ යි සැලකෙන්නේ අවම වශයෙන් මහා පිපුරුමෙන් වසර බිලියන 4කටවත් පසු ව යි. නමුත් ස්පාඤ්ඤයේ Spanish Astrobiology Centreහි Luca Costantin ඇතුළු කණ්ඩායම සොයාගෙන ඇති පරිදි ජේම්ස් වෙබ් කැමරාවට හසු කරගත් ඉහත කී චක්‍රාවාටය ඒ ආකෘතීන්ගේ වලංගුතාව ප්‍රශ්න කරනවා.
JWST විසින් සිදු කරන ලද Cosmic Evolution Early Release Science (CEERS) ආවේක්ෂණයේ ප්‍රතිඵල වූ දුර බැහැර චක්‍රාවාට දහස් ගණනක දත්ත අධ්‍යයනය කිරීමේ දී යි, ඔවුන්ට මේ අමුත්ත පෙනී ගොස් තිබුණේ.
‘මට ඒකේ අමුත්තක් පෙනුණා. අපට මුලින් ම ඒකේ හැඩය වර්ගීකරණය කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ.’ Costantin සඳහන් කරනවා.
JWST දත්ත හබල් දුරේක්ෂයේ දත්ත සමග සන්සන්දනය කළ ඔවුන් එය දණ්ඩාකාර ව්‍යුහයක් සහිත සර්පිලාකාර චක්‍රාවායක් බව හඳුනාගත් අතර ceers-2112 ලෙස නම් කළා.
පරිගණක සමාකරණයන් පෙන්වා දී ඇති පරිදි ceers-2112 හටගෙන වසර බිලියන 4ක් තුළ එය ක්ෂීරපථ මන්දාකිණිය තරමට වැඩී තිබෙනවා. Costantin සඳහන් කරන පරිදි මෙවැනි නිරීක්ෂණ චක්‍රාවාටවල හටගැනීම පිළිබඳ ආකෘතීන් වැඩි දියුණු කිරීමට මහෝපකාරී වනවා.
‘අප හඳුනාගත් ආකාරයේ චක්‍රාවාට සොයාගැනීම ඒවා වටහා ගැනීම අතිශය වැදගත් වනවා. එය අපේ චක්‍රාවාටයේත්, අවසානයේ අපේ සම්භවය ගැනත් හැරී බැලීමට ඇති හොඳ මඟක්.’ Costantin වැඩිදුරටත් සඳහන් කරනවා.
New Scientist ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්