ඉන්දියාවේ දිල්ලි නුවර වාතයේ ගුණාත්මකතාව බරපතළ ලෙස පහළ වැටීමෙන් එහි වෙසෙන දරුවන්ගේ ස්වසන ආබාධ ඉහළ යමින් පවතින බව වාර්තා වනවා. ඉකුත් දින කිහිපයේ ඉන්දියාව පුරා සැමරුණු දීවාලි උත්සවවල දී දල්වනු ලැබූ ගිණිකෙළිවලින් නික්මුණු දුමාරය ද එයට වගකිව යුතු බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ.
මෑත කාලීන ව සිදු කරන ලද අධ්‍යයනයකින් අනාවරණය වී ඇති පරිදි දිල්ලියෙන් වාර්තා වන කළු කාබන් අතරින් 42%ක ප්‍රතිශතයකට වගකිව යුතු වන්නේ එරට අස්වනු නෙලීමෙන් අනතුරු ව සිදු කරන පිදුරු ගිනි ලෑමයි.
ඉන්දීය අගනුවර වන නව දිල්ලියේ වෙසෙන්නන් මේ අයහපත් පාරිසරික තත්ත්වයෙන් පීඩා විඳිමින් සිටිනවා. Nature ජර්නලය සඳහන් කරන පරිදි නොවැම්බර් 03 වැනි දා සිට දූෂක වර්ග අටකින් පමණ දිල්ලියේ වායු ගුණාත්මකතා දර්ශකය (AQI) පහත ඇද දමා තිබෙනවා. ඒ අතර ඔ්සෝන් සහ සල්ෆර් ඩයොක්සයිඩ් ප්‍රමුඛයි.
ඉකුත් 03 වැනි දා සිට 09 වැනි දා දක්වා දින හයක කාලය තුළ දිල්ලියේ ඝන මීටරයක වපසරිය තුළ ඇති මයික්‍රොමීටර 2.5 (PM2.5) ට වඩා පළලැති දුහුවිලි අංශු ප්‍රමාණය මයික්‍රොග්‍රෑම් 200 ඉක්මවූවා. මේවා රුධිර නාලිකාවලට ද එක් වී සෞඛ්‍යාබාධ ඇති කිරීමට හැකි වන තරම් ප්‍රමාණයෙන් කුඩා යි.
ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් නිකුත් කර ඇති මාර්ගෝපදේශයන්ට අනුකූල ව ප්‍රශස්ත පාරිසරික තත්ත්වයක් තුළ PM2.5 අංශු තිබිය හැක්කේ ඝන මීටරයක් තුළ මයික්‍රොග්‍රෑම් 15ක් පමණයි.
නව දිල්ලියේ Council on Energy Environment and Waterහි පර්යේෂකයෙකු වන කාර්තික් ගනේෂන් සඳහන් කර තිබුණේ මෙතෙක් කල් පැවති වායු දූෂණය කෙටි කලක් තුළ නොවූ විරූ අන්දමින් වැඩි වීම අපේක්ෂා නො කළ දෙයක් බවයි. දීවාලි සති අන්තයේ දල්වන ලද ගිනිකෙළි ද වායුගෝලයේ හානිකර ලෝහ අයන ප්‍රමාණය ඉහළ දමමින් වායු දූෂණය වැඩි කරන්නට දායක වී තිබෙන බව ද ගනේෂන් අවධාරණය කරයි. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ නගරය තුළ දෛනික ව සිදු වන විමෝචනයන් ‘මිශ්‍ර විසක්’ (toxic cocktail) වුව සාදන්නට ප්‍රමාණවත් බවයි.
Interesting Engineering ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්