Home Science News “ලොක් ඩවුන්” සමයේ සත්වෝද්‍යාන සතුන්ගේත් හැසිරීම් වෙනස් වෙලා

“ලොක් ඩවුන්” සමයේ සත්වෝද්‍යාන සතුන්ගේත් හැසිරීම් වෙනස් වෙලා

by Sathya

මීට වසර කීපයකට ඉහත ලෝකය මුහුණ පෑ කෝවිඩ් වසංගතය ජන ජීවිතය විපර්යාසයකට ලක් කරන්නට සමත් වුණා. මේ කාලයේ දී ජනයා ඒකරාශි වන බොහෝ පොදු ස්ථාන වසා දමන්නට සිදු වුණා. ඊට සත්වෝද්‍යාන ද අයත්. ඉකුත් වසරේ පළ වූ අධ්‍යයනයකින් අනාවරණය වන පරිදි නිති පතා මිනිසුන් ගැවසෙනු දුටු සත්වෝද්‍යාන සතුන්ගේ ද චර්යා රටා එයත් සමගින් වෙනස් වී තිබෙනවා.

මේ අධ්‍යයනය සඳහා බොනෝබෝ වඳුරන්, චිම්පන්සීන්, ගෝරිල්ලන් සහ ඔලිව් බැබූන් සතුන් නිරීක්ෂණයට ලක් කොට තිබුණා. එහි දී පර්යේෂකයන්ට පෙනී ගොස් තිබුණේ වසා තැබූ කාලය තුළ ඔවුන්ගේ හැසිරීම් ආකාර ගණනාවකින් ම වෙනස් වී ඇති බවයි. එයට විවේක ගනිමින් සහ ආහාර ගනිමින් සිටින අවස්ථා ද අයත්.

සත්වෝද්‍යානවල සිටින සතුන්ගේ යහපැවැත්ම සඳහා නරඹන්නන් සමග වන අන්තර්ක්‍රියා තීරණාත්මක සාධකයක් බවට විශ්වාස කෙරෙනවා. එහි ප්‍රතිඵලය ධනාත්මක හෝ ඍණාත්මක ද විය හැකියි. එබැවින් නරඹන්නන්ගෙන් තොර අවස්ථාවල දී සතුන් තුළින් පළ වන වෙනස්කම් අධ්‍යයනය කිරීමට පර්යේෂකයන් පසු වෙමින් සිටියේ දැඩි උනන්දුවකින්.

“ප්‍රයිමේටාවුන් යනු සත්වෝද්‍යානවල සිටින සංජානන හැකියාවන්ගෙන් උසස් ජීවීන් විශේෂයක් වන අතර ඔවුන් මිනිසුන් සමග අන්තර්ක්‍රියා කරන ආකාරය සංකීර්ණයි.” එක්සත් රාජධානියේ නොටිංග්හැම් ට්‍රෙන්ට් සරසවියේ සත්ත්ව විද්‍යාඥ සමන්තා වෝඩ් සඳහන් කරනවා.

“සත්වෝද්‍යාන සතුන්ගේ හැසිරීමට නරඹන්නන්ගේ බලපෑම තේරුම්ගැනීමේ දී තිබූ සීමාකාරී සාධකයක් වූයේ ඒවා දිගු කාලයක් සඳහා මහජනයාට වසා තැබෙන අවස්ථා අතිශය විරල වීමයි. ඒ නිසා කොවිඩ් උවදුරු සමය අපට අද්විතීය අවස්ථාවක් වුණා.” ඇය වැඩිදුරටත් සඳහන් කරනවා.

ඔවුන්ගේ නිරීක්ෂණ සඳහා බඳුන් වූයේ එක්සත් රාජධානියේ ඇති Twycross Zoo සත්වෝද්‍යානය සහ Knowsley Safari සත්වෝද්‍යානයයි. නරඹන්නන්ගේ නැවත පැමිණීමට පෙර සහ පසු සතුන්ගේ චර්යා රටා ඔවුන්ගේ අවධානයට නතු වුණා.

‘ලොක් ඩවුන්’ කාලයෙන් පසු යළි නරඹන්නන් පැමිණෙන විට එතෙක් කල් තනි ව සිටීමට ප්‍රිය කළ බොනෝබෝ සහ ගෝරිල්ලන්ගේ හුදෙකලා ව සිටින කාලය අඩු වන බව නිරීක්ෂණය වී තිබුණා. ගොරිල්ලන්ගේ නින්ද ද කෙටි වූ බව නිරීක්ෂණය වුණා. වසා තැබූ කාලය තුළ ගත් ආහාර ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ගැනීමට චිම්පන්සීන් හුරු වී තිබුණා.

යළි මහජනයාට විවර වූ පසු සෆාරි උද්‍යානයේ සිටි බැබූනන්ගේ ලිංගික ක්‍රියාකාරකම් මෙන් ම චණ්ඩ හැසිරීම්වල අඩුවක් පෙන්නුම් කළා. ඔවුන් සෑම විටක ම නරඹන්නන් පටවාගත් සංචාරක රථ වෙත ළඟා වීමට උත්සාහ කරනු දක්නට ලැබුණා.

මේ චර්යාත්මක විපර්යාසයන් ධනාත්මක ද නැති ද යන්න පැවසීම වඩාත් අපහසු බවයි පර්යේෂක මතය. ඔවුන් යෝජනා කරන්නේ නරඹන්නන්ගේ පුනරාගමනය චිම්පන්සීන් සහ බැබූන් සතුන් උත්තේජනය කර ඇති බවයි. ගෝරිල්ලන් සහ බැබූන් සතුන් හුදෙකලා ව කාලය ගත කිරීම අඩු කිරීම ධනාත්මක ප්‍රතිඵලයක් විය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

Science Alert ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications