චලනය වන එක ම කොටසක් හෝ නොමැති, පරිසරයට හානිකර සිසිලනකාරක භාවිතා නො කරන නව සිසිලන පද්ධතියක් හඳුන්වා දීමට Luxembourg Institute of Science and Technologyහි පර්යේෂකයන් පිරිසක් සමත් ව සිටිනවා. එය දැනට භාවිතයේ පවතින වායු සමන යන්ත්‍රවලට වඩා අඩු විදුලියක් පරිභෝජනය කරමින් දෙ ගුණයක කාර්යක්ෂමතාවක් පවත්වාගත හැකි වීම විශේෂත්වයක්.
බොහෝ වායු සමන යන්ත්‍ර සහ ශීතකරණ ක්‍රියා කරන්නේ උෂ්ණත්වය උරාගෙන පිට කළ හැකි පරිදි සැකසුණු තරලයක් සම්පීඩනය කිරීම මඟිනුයි. ඒවායේ නිෂ්පාදන ක්‍රියාවලිය සාපේක්ෂ ව සරල සහ පහසු දෙයක් වුවත් ලෝක බලශක්තියෙන් සාපේක්ෂ ව වැඩි ප්‍රතිශතයක් පරිභෝජනය කිරීම සහ පරිසරයට අහිතකර සිසිලනකාරක මත රඳා පැවතීම ගැටලුවක් ව පැවතියා.
එයට විසඳුමක් ලෙස සිසිලනකාරකවලින් තොර සිසිලන පද්ධතියක් නිපදවන්නට Luxembourg Institute of Science and Technologyහි Emmanuel Defay ඇතුළු පර්යේෂකයන් සමත් ව තිබෙනවා. ඔවුන් ඒ සඳහා උපයෝගී කරගෙන ඇත්තේ ඊයම්, ස්කැන්ඩියම් (scandium), ටැන්ටලම් (tantalum) ආදී ලෝහයි. එයට සාම්ප්‍රදායික වායු සමන යන්ත්‍රයක් මෙන් 60%ක කාර්යක්ෂමතාවකින් ක්‍රියා කළ හැකියි.
මේ තාක්ෂණය පිටුපස ඇත්තේ විද්‍යුත්කැලරික සිසිලනය නම් සිද්ධාන්තයයි (electrocaloric cooling). ද්‍රව්‍යයක් හරහා යොදන විද්‍යුත් ක්ෂේත්‍රයක් විද්‍යුත් ආරෝපණ දිශාව වෙනස් කරන විට උෂ්ණත්වයේ තාවකාලික වැඩි වීමක් සහ විද්‍යුත් ක්ෂේත්‍රය ඉවත් කරන විට අඩුවීමක් ඇති කරනවා. මෙහි දී සිසිලනය කිරීම සඳහා යොදා ගැනෙන්නේ එම ක්‍රමවේදයයි.
පර්යේෂකයන් මේ සඳහා ලෙඩ් ස්කැන්ඩියම් ටැන්ටලම් (lead scandium tantalate) නම් මිශ්‍ර ලෝහය යොදා ගත්තා. එක මත එක තැබූ පටි අටක් වශයෙන් සිලිකන් ඔයිල් තුළ බහාලූ එය විද්‍යුත් ක්ෂේත්‍රය ක්‍රියාත්මක කළ විට සිලිකන් ඔයිල් දකුණූ පසටත් නිවා දැමූ විට වම් පසටත් චලනය කිරීමට සමත් වුණා. පද්ධතියේ උෂ්ණත්වයෙන් යුතු ප්‍රදේශ සහ සිසිල් ප්‍රදේශ අතර සෙල්සියස් අංශක 20ක පමණ ස්ථිර වෙනසක් පැවතියා. මෙවැනි පද්ධතියක් සිසිල් සහ උණුසුම් තෙල් සංසරණය කරන සිසිලන පද්ධතියක් සඳහා පහසුවෙන් යොදාගත හැකියි.
සෛද්ධාන්තික ව මෙම පද්ධතියේ කාර්යක්ෂමතාව 67%ක් ලෙස සැලකුණත් දැනට එය ක්‍රියාත්මක වන්නේ 12%ක කාර්යක්ෂමතාවකින්. ලෙඩ් ස්කැන්ඩියම් ටැන්ටලම්වලට වඩා හොඳින් තාපය සන්නයනය කරන ලෝහයක් තිබේ නම් එය ඉහළ දමා ගැනීම පහසුවෙන් කළ හැකි බවයි පර්යේෂකයන් සඳහන් කරන්නේ.
New Scientist ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්