Home Science News සංරක්ෂණ ව්‍යාපෘති නිසා ගිජුලිහිණි ගහනය සුරක්ෂිතයි

සංරක්ෂණ ව්‍යාපෘති නිසා ගිජුලිහිණි ගහනය සුරක්ෂිතයි

by Sathya

ජාත්‍යන්තර වශයෙන් ගැනුණු පියවර ගණනාවක ප්‍රතිඵලයක් ලෙස යුරෝපය, මැද පෙරදිග සහ අප්‍රිකාව අතර සංචාරය කරන ගිජුලිහිණියන් මුහුණ දෙන උවදුරු අවම වී සුරක්ෂිත බව වැඩි වී තිබෙනවා.

Neophron percnopterus ලෙස හැඳින්වෙන Egyptian vultures හෙවත් ඊජිප්තු ගිජුලිහිණියන් රටවල් 14 ක් පසු කරමින් සෑම වසරක ම සිදු කරන දීර්ඝ පියාසැරිය අතරතුර වෙඩි තැබීම් සහ විෂ ගැල්වූ ආහාර නිසා සැලකිය යුතු ප්‍රමාණයක් මිය යන බව සොයාගෙන තිබුණා. ඔවුන්ගේ පැවැත්මට බරපතළ ලෙස එය බලපා තිබුණා. මේ හේතුවෙන් නැඟෙනහිර යුරෝපයෙන් 1980 වන විට වාර්තා වූ 600ක් පමණ වූ අභිජනන ගිජුලිහිණි යුවල් සංඛ්‍යාව මෑතක් වන විට 50 දක්වා පහත වැටී තිබෙනවා.

ඔවුන්ගේ සංචරණ පියාසැරි මාර්ගය පුරා ඇති උවදුරු පළවා හරිමින් එය සුරක්ෂිත ගමන් මාර්ගයක් බවට පත් කිරීම සඳහා සංරක්ෂණවේදීන් 2017 දී සුවිශේෂ ව්‍යාපෘතියක් දියත් කරන්නේ ඒ අනුවයි. එයට පින් සිදු වන්නට 2018 – 2022 කාලයේ දී බෝල්කන් කලාපයේ දී සිදු වන විෂ ආහාරයට ගැනීම් සංඛ්‍යාත්මක ව අඩකින් අඩු වී තිබෙන බව වාර්තා වනවා. බොහෝ විට සිදු වන්නේ ගොවිපොළ සතුන් විලෝපිකයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා තබන විෂ ගල්වන ලද ඇම වෙත ආකර්ෂණය වන ගිජුලිහිණියන් ඒවා ආහාරයට ගැනීමයි. එනිසා මේ සංරක්ෂණ වැඩපිළිවෙළ සිදු කරනු ලැබූවේ සත්ත්ව ගො‍විපළ පවත්වාගෙන යන ගොවීන් දැනුවත් කරමින් ඔවුන් ද සමගයි.

මෙයට අමතර ව 2016 – 22 අතර කාලයේ බල්ගේරියාවේ දී සන්තකයේ තබා ගනිමින් දැඩි කළ ගිජුලිහිණියන් 30ක් නිදහස් කිරීම ද සිදු වුණා.

බල්ගේරියාව සහ ඉතියෝපියාව අතර විදුලි කණුවල හා රැහැන්වල ඇති නිරාවරිත කොටස් පරිවරණය කිරීම සඳහා යුරෝපා සංගමයේ දායකත්වයෙන් දියත් වූ ව්‍යාපෘතිය ද මේ සංරක්ෂණ ක්‍රියාවලිය සඳහා උපකාරී වී තිබෙනවා.

අප්‍රිකානු රටවල පාරම්පරික වෛද්‍ය ප්‍රතිකාර සඳහා බහුල වශයෙන් ගිජුලිහිණි ශරීර කොටස් යොදා ගැනුණා. එය අවම කරනු පිණිස නයිජර් සහ නයිජීරියා යන රටවලට ආදේශකයන් හඳුන්වා දීම සහ ප්‍රචලිත කිරීම ද යහපත් ප්‍රතිඵලය සඳහා ඉවහල් වී තිබෙනවා.

මේ සංරක්ෂණ වැඩපිළිවෙළේ ප්‍රතිඵලයක් වශයෙන් ගිජුලිහිණි පැටවුන්ගේ සහ වැඩිහිටියන්ගේ මරණ අනුපාතය පිළිවෙළින් 2%කින් හා 9%කින් අඩු වී ඇති බව Swiss Ornithological Instituteහි Steffen Oppel ඇතුළු කණ්ඩායම‍ පෙන්වා දෙනවා. එසේ ම ගහනයේ වර්ධනය වසරකට 0.5%ක් ඉහළ ගොස් තිබෙනවා.

Oppel වැඩිදුරටත් පවසන්නේ අතිශය කුඩා අගයකින් වුව ද මේ කුරුලු විශේෂයේ ගහනය දැන් ස්ථාවර වී ඇති බවයි.‍

New Scientist ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications