මහා පිපිරුමෙන් පසු වසර බිලියන 2-3 අතර කාලයේ දී නිර්මාණය වූ යෞවන ගැලැක්සි අප හිතනවාට වඩා බර ලෝහවලින් සමන්විත බව ජේම්ස් වෙබ් ටෙලස්කෝපය මඟින් මෑතක දී අනාවරණය කරගෙන තිබෙනවා. මේ අනාවරණය සිදු කරගෙන තිබෙන්නේ නෝත් වෙස්ටර්න් විශ්වවිද්‍යාලයේ තාරකා භෞතික විද්‍යාඥයන් පිරිසක්.
මේ යෞවන ගැලැක්සිවලින් නිකුත් වූ ආලෝකය අප වෙත ළඟා වන්නේ වසර බිලියන ගණනක් ගෙවී යාමෙන් අනතුරුවයි. මේ ආලෝක කිරණ අධ්‍යයනය කිරීමෙන් මහා පිපිරුමට පසු ඒ ආසන්න කාලය ගැන බොහෝ තොරතුරු ලබාගත හැකියි. පර්යේෂකයන් කියන්නේ යකඩ වලටත්වඩා බර නිකල් වැනි ලෝහ මේ යෞවන ගැලැක්සිවල අන්තර්ගත වන අතර අප හිතනවාට වඩා ඒවා උෂ්ණත්වයෙන් ද වැඩි බවයි.
මේ පර්යේෂණයේ දී දුරබැහැර පිහිටි ගැලැක්සි 23 කින් නිකුත් වන ආලෝකය පර්යේෂකයන් විසින් නිරීක්ෂණය කරනු ලැබුණා. ඔවුනට පෙනුණේ මේ ගැලැක්සිවල හයිඩ්‍රජන්, හීලියම්, නයිට්‍රජන්, ඔක්සිජන්, සිලිකන්, සල්ෆර්, සහ ආගන් වැනි සැහැල්ලු මූල ද්‍රව්‍ය අන්තර්ගත විය හැකි බවයි. එය එතරම් පුදුමයට කාරණයක් නෙවෙයි. එහෙත් පුදුමය නම් නිකල් වැනි බර ලෝහ ද මේ යෞවන ගැලැක්සිවල අන්තර්ගත වන බව සොයා ගැනීමයි.
“මේක නම් මං තුන් හිතකින්වත් බලාපොරොත්තු වුණු දෙයක් නෙමෙයි”
මෙසේ පවසන්නේ මේ අධ්‍යයන පත්‍රිකාවේ ප්‍රධාන කතුවරිය වන ඇලිසන් ස්ට්‍රෝම්. ඇය නෝත් වෙස්ටර්න් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව සහ තාරකා විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්යවරියක්.
අපට ළඟින් පිහිටා තිබෙන වැඩිමහලු ගැලැක්සිවල පවා නිකල් දැකිය හැක්කේ කලාතුරකින්. ඊට හේතුව ගැලැක්සියක් ජීවන චක්‍ර ගණනාවක් ගෙවා, සුපර්නෝවා පිපිරීම් විශාල ප්‍රමාණයක් සිදු වී, වඩා බර ලෝහ සංස්ලේෂණය වන්නට කාලයක් ගතවන නිසා.
ඒත් මේ යෞවන ගැලැක්සි නිකල් හදාගත්තේ කොහොම ද? “සමහර විට මේ ගැලැක්සිවල අප නිරීක්ෂණය කළ ඉහළ උෂ්ණත්වය සමග මීට සම්බන්ධයක් තිබෙනවා විය හැකියි.” මහාචාර්ය ස්ට්‍රෝම් උපකල්පනය කරනවා.
Live Science ඇසුරෙනි.
සුනන්ද කරුණාරත්න