එක්තරා තාරකාවක් වටා පරිභ්‍රමණය වන පිටස්තර ග්‍රහලෝක හයක කක්ෂ වසර බිලියන ගණනක් යන තුරු විපර්යාසයකට ලක් ව නො මැති බව සොයාගෙන තිබෙනවා. ග්‍රහවිද්‍යාඥයන් සඳහන් කරන්නේ ඉන් අපගේ වැනි සෞරග්‍රහ මණ්ඩල කෙසේ බිහිවන්නේ දැ යි අදහසක් ලබාගත හැකි බවයි.
ග්‍රහලෝක ඒකාකාරී ස්ථිර කක්ෂ සහිත ව තාරකාවක් වටා ගමන් කරන විට දී බොහෝ විට එය එම රාටාවෙන් වියුක්ත වන්නේ නැති බව සොයාගෙන තිබෙනවා. යම් සුවිශාල වස්තුවක් ඒ අසලින් ඇදී යන විට ඇති වන ගුරුත්ව බල පෑම නිසා හෝ යම් වස්තුවක් බලහත්කාරයෙන් කඩා වැදීම නිසා හෝ ඇති වන බලපෑමකින් මිස එම රටාව වෙනස් වන්නේ නැහැ.
HD 110067 නම් ආලෝක වර්ෂ 100ක දුරින් ඇති තාරකාවක් වටා ගමන් කරන ග්‍රහලෝක දෙකක් පළමු වරට තාරකා විද්‍යාඥයන්ගේ අවධානය පැහැරගන්නේ 2020 වසරේ දී යි. එම නිරීක්ෂණය සිදු කර තිබුණේ Transiting Exoplanet Survey Satellite (TESS) චන්ද්‍රිකාව ආධාරයෙන්. නමුත් චිකාගෝ විශ්වවිද්‍යාලයේ Rafael Luque ඇතුළු පර්යේෂණ සගයන්ට එම පද්ධතියෙන් ග්‍රහණය කරගන්නා සංඥා සමග ග්‍රහ වස්තූන් දෙකක ප්‍රතිඵලය නො ගැලපෙන බව පෙනී ගොස් තිබුණා. ඔවුන් තවත් වසර දෙකක ඇවෑමෙන් TESS සහ CHaracterising ExOPlanet Satellite (CHEOPS) චන්ද්‍රිකාව ආධාරයෙන් යළි එම පද්ධතිය නිරීක්ෂණය කරන විට තවත් තුන් වැනි ග්‍රහලෝකයක් සොයාගන්නට සමත් වුණා. නමුත් එයින් ද නිකුත් වන සංඥා මුළුමනින් ම විස්තර කළ හැකි වූයේ නැහැ.
පර්යේෂක පිරිස එම සංඥාව ඇසුරෙන් පරිගණක සමාකරණයක් තනන්නට සමත් වුණා. එහි දී ඔවුන් අනුනාද නංවන පරිදි පරිභ්‍රමණය වන ග්‍රහලෝක කිහිපයක් ම ඇතුළත් කරමින් ග්‍රහණය කළ සංඥාවට සමාන වේ දැ යි පරික්ෂා කර බලන්නට උත්සුක වුණා. එයින් පෙනී ගොස් තිබුණේ එක ම පැතලි තලයක පිහිටන ග්‍රහලෝක හයකින් එම සෞරග්‍රහ පද්ධතිය සමන්විත වන බවයි.
මේ පරිපූර්ණ අනුනාද නැංවීම HD 110067හි ග්‍රහලෝක එය බිහි වූ වසර බිලියන 4කට අධික කාලාන්තරයේ පටන් මෙලෙස ම පරිභ්‍රමණය වන්නට ඇති බව පෙනී යනවා. ‘ඒක හරියට කාලය හරහා බලන්න පුළුවන් ෆොසිලයක් වගෙයි.’ ප්‍රංශයේ Bordeaux විශ්වවිද්‍යාලයේ Sean Raymond සඳහන් කරනවා.
New Scientist ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්