Home Science News ලොව ප්‍රථම වරට සිදු වූ තල්මහ – මිනිස් සංවාදය

ලොව ප්‍රථම වරට සිදු වූ තල්මහ – මිනිස් සංවාදය

by Sathya

පිටසක්වළ බුද්ධිමතුන් සෙවීමේ SETI ආයතනයත්, University of California Davis විශ්වවිද්‍යාලය සහ Alaska Whale Foundation ඒකාබද්ධ ව සිදු කළ පර්යේෂණයකින් පළමු වතාවට හම්ප්බැක් තල්මහෙකු සමග සන්නිවේදනය කිරීමට සමත් ව තිබෙනවා. ට්වේන් (Twain) ලෙස නම් කර ඇති මෙම තල්මහ පර්යේෂකයන් විසින් අසන්නට සැලැස් වූ හම්ප්බැක් තල්මහ ‘ඇමතුමකට’ නියමිත විරාම පවත්වා ගනිමින් ප්‍රතිචාර දක්වා තිබෙනවා. පර්යේෂකයන් පෙන්වා දෙන්නේ එය ලෝකයේ මිනිසුන් හා තල්මහ විශේෂයක් අතර සිදු වූ පළමු වැනි සංවාදය ලෙස සැලකිය හැකි බවයි.

‘අප විශ්වාස කරනවා මෙය හම්ප්බැක් භාෂාව යොදාගෙන හම්ප්බැක් තල්මහ සහ මිනිසුන් අතර සිදු වූ පළමු වැනි සංවාද හුවමාරුව බව’ අධ්‍යයනයේ ප්‍රධාන කර්තෘවරිය මෙන් ම U.C. Davis විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක වන Brenda McCowan නිවේදනයක දන්වා තිබුණා.

පර්යේෂකයන් විසින් විකාශය කෙරුණු ‘සබඳතා ඇමතුමෙන්’ මඳ වේලාවකට පසු බෝට්ටුව අසලට පිහිනා ආ හම්ප්බැක් තල්මහෙකු වන ට්වේන් (Twain) එය වටා රවුම් ගසන්නට පටන්ගෙන තිබුණා.මීළඟ විනාඩි 20 ක කාලය පුරාවට බෝට්ටුවේ සිටි විද්‍යාඥයන් එක ම ඇමතුම විවිධ වූ කාල විරාමයන් සහිත ව 36 වතාවක් නාද කරන්නට පියවර ගත් අතර ට්වේන් ඒ සෑම අවස්ථාවක දී ම ආසන්න වශයෙන් එම කාල විරාමය ම පවත්වාගනිමින් ප්‍රතිචාර නාද නංවා තිබුණා. උදාහරණයක් ලෙස ඇමතුම් නාදය ‍බෝට්ටුවෙන් නිකුත් වූයේ තත්පර 10ක නිහඬ විරාමයකින් අනතුරු ව නම් ට්වේන් ද එයට ප්‍රතිචාර දක්වා තිබුණේ තත්පර 10කට ආසන්න කාලයක් නිහඬ ව සිටීමෙන් අනතුරු ව යි. McCowan සඳහන් කරන්නේ මෙසේ සම විරාම කාල පවත්වා ගැනීම එය ඕනෑ කමින් ම කළ බුද්ධිමත් සන්නිවේදන උත්සාහයක් බව ඒත්තු ගන්වන බවයි.

මේ අධ්‍යයනයේ සම කර්තෘවරයෙකු වන SETI විද්‍යාඥ Laurance Doyle පවසන්නේ ට්වේන්ගේ හැසිරීම මිනිසාගේ අවධානය දිනා ගන්නට කටයුතු කරන පිටසක්වළ ශිෂ්ටාචාරයක හැසිරීමට ද සමානකමක් දැක්විය හැකි බවයි. SETI ව්‍යාපෘතිය සිය මෙහෙයුම් ඇරඹීමේ දී සිදු කළ උපකල්පනයක් නම් පිටසක්වළ බුද්ධිමත් ජීවයකට මිනිසුන් සමඟ අදහස් හුවමාරුවකට අදහසක් පැමිණියහොත් පොළොවේ පිහිටුවා ඇති ග්‍රාහකයන් ඉලක්කගත කරනු ඇති බවයි. ටේවේන් සිදු කළේ ද එයට සමාන දෙයක්.

Doyle සහ SETI ව්‍යාපෘතියේ ඔහුගේ පර්යේෂණ සගයන් AWF සහ UC Davis’s School of Veterinary Medicine සමග එක් ව වෙනත් ජීව විශේෂයක් සමග සන්නිවේදනය කිරීමේ දී ලබා ගත හැකි අත්දැකීම් බෙදාහදා ගනිමින් සිටිනවා. එය පිටසක්වළ ශිෂ්ටාචාරයක් සමග සන්නිවේදනය කිරීමට හා ඔවුන් පවසන දෑ තේරුම් ගැනීමට අවැසි බුද්ධිමය පෙරහන් තනා ගැනීමට රුකුල් සපයනවා.

‘හම්ප්බැක් තල්මහ අතිශය බුද්ධිමත්. ඔවුනට සංකීර්ණ සමාජයීය පද්ධතියක් තිබෙනවා. ඔවුන් දිය බුබුළුවලින් කැදලි වැනි උපාංග තනා මසුන් අල්ලාගන්නවා. ඒ වගේ ම සිංදුවලින් සහ සමාජයීය ඇමතුම්වලින් දිගින් දිගට ම සන්නිවේදනය කරගන්නවා.’ අධ්‍යයනයේ සම කර්තෘවරයෙකු වන Alaska Whale Foundationහි ප්‍රධාන විද්‍යාඥ Fred Sharpe සඳහන් කරනවා. එනිසා හම්ප්බැක් තල්මහ සමග සන්නිවේදනය කරගත හැකි තත්ත්වයක් ගොඩනඟා ගැනීම මනුෂ්‍ය නො වන ජීවීන් කොට්ඨාසයක් සමග සන්නිවේදනය කිරීමට පූර්ව අධ්‍යයනයක් මෙන් ම පෙරහුරුවක් ලෙස ද වැදගත් වනවා.

Live Science ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications