Astrobotic වාණිජ්‍යමය අභ්‍යවකාශ සමාගම විසින් නිෂ්පාදනය කරන ලද Peregrine චන්ද්‍ර ලෑන්ඩරය ඊයේ කේප් කැනවරල් තුඩුවේ සිට ගුවනට නැඟුණේ Boeing සහ Lockheed සමාගම් එක් ව සකසා ගැනුණු United Launch Alliance (ULA) විසින් නිෂ්පාදිත Vulcan රොකට්ටුව ආධාරයෙන්.
අභ්‍යවකාශය තෙක් ඔසවා තැබීම සාර්ථක ලෙස අවසන් වූ නමුත්, ඊයේ රාත්‍රිය වන විට Astrobotic සමාගම සඳහන් කළේ Peregrine යානය සතු ව ඇති ප්‍රචාලන පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් අනපේක්ෂිත තත්ත්වයක් හටගෙන ඇති බවයි. එම දෝෂය නිවැරැදි කිරීමෙන් තොර ව ලෑන්ඩරයට චන්ද්‍රයා මතට ගොඩ බැසීමක් සිදු කිරීමට නො හැකි වනු ඇති බව ද ඔවුන් සඳහන් කර තිබුණා.
මෙම දෝෂය හේතුවෙන් යානය සතු සූර්ය කෝෂ නියමිත දිශාවන්ට එල්ල වන පරිදි හැරවීම අඩාල වී තිබෙනවා. ඉන් සිදු වන්නේ Peregrine හට අවශ්‍ය ජවය ජනනය කරගත නො හැකි වීමයි.
Astrobotic සමාගම සිය දෝෂ සහගත මෙහෙයුමෙන් ඉටුකර ගත හැකි විකල්ප අරමුණු ගැන සාකච්ඡා කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. වෙනත් අයුරකින් පැවසුවහොත් ඔවුන් දැන් කටයුතු කරමින් සිටින්නේ සිය අසාර්ථක වීමට යන මෙහෙයුම, අඩක් සාර්ථක මෙහෙයුමක් බවට හෝ පත් කර ගැනීමටයි.
Peregrine සතු දෝෂය ගැන මුල් ම ඉඟිය පළ වී තිබුණේ එය Vulcan රොකට්ටුවෙන් නිදහස් වීමෙන් අනතුරු ව මෙහෙයුම් පාලකවරුන් සමග සන්නිවේදනය ඇති කරගැනීමෙන් මොහොතකට පසු ව යි. එය සූර්යයා සමග පවත්වා ගත යුතු එල්ලය නියමිත පරිදි තබා නො ගන්නා බවත්, එය සතු සූර්ය කෝෂ මතට සූර්යාලෝකය යථා පරිදි පතිත නො වන බවත් ඔවුන්ට වැටහී ගොස් තිබුණා. ඉන් සිදු වන්නේ Peregrine සතු විද්‍යුත් කෝෂය ආරෝපණය කරගත නො හැකි වීමයි. මේ සියල්ලට හේතු වී තිබුණේ එහි ප්‍රචාලන පද්ධතියේ හටගත් දෝෂයක් බව Astrobotic ඉංජිනේරුවන් ක්‍රමික ව වටහාගෙන තිබුණා.
ඒ අනුව සාර්ථක ලෙස එය නිවැරදි දිශානතියකට හරවන්නට ඔවුන් සමත් වී තිබුණත් සමාගම සඳහන් කළ පරිදි ඒ වන විටත් අපතේ ගොස් තිබූ ඉන්ධන ප්‍රමාණය සඳ මතට කෙරෙන සුමට ගොඩ බැස්ම වළක්වනවා.
“මේ තත්ත්වය තුලනය කරගැනීමට කණ්ඩායම උත්සාහ දරමින් සිටිනවා. කෙසේ නමුත් අප අවස්ථානෝචිත ව ප්‍රමුඛත්වය ලබා දී තිබෙන්නේ විද්‍යාත්මක දත්ත හැකි උපරිමයෙන් මේ ඔස්සේ ලබා ගැනීමටයි.” සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
මෙම තත්ත්වය මත, යානය පවතින චන්ද්‍රයාට ආසන්න විය හැකි ඉලිප්සාකාර කක්ෂය උපකාරයට ගෙන විද්‍යාත්මක දත්ත හා තොරතුරු එක් රැස් කිරීම ඇති හොඳ ම විකල්පයයි.
සියල්ල නියමිත පරිදි සිදු වූයේ නම් Peregrine චන්ද්‍ර ලෑන්ඩරය ලබන පෙබරවාරි 23 දා සඳ මතට පහත් වෙමින් සඳ මතට සුමට ගොඩබැස්මක් සිදු කරන මුල් ම වාණිජ්‍යමය චන්ද්‍ර ගවේෂණ ලෑන්ඩරය බවට පත් වන්නට නියමිත ව තිබුණා. එසේ ම එය 1972 වසරට පසු සඳ මතට සුමට ගොඩබැස්මක් සිදු කරන පළමු ඇමරිකානු යානය ද වන්නට නියමිත ව තිබුණා.
BBC ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්