සෞරග්‍රහ මණ්ඩලයට අයත් ඝන, පාෂාණමය ග්‍රහලෝක ගණන 4 ක් බවත්, ඒවා බුද, සිකුරු, පෘථිවිය හා අඟහරු යන සූර්යයාට ආසන්න ග්‍රහලෝක සතර බවත් අප දන්නා කරුණක්. නමුත් නවතම පර්යේෂණකින් අනාවරණය කරන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ ඈත බාහිර සීමාවේ තවත් එවැනි ග්‍රහලෝක පහක් දක්වා ගණනක් තිබිය හැකි බවයි.
මෙවැනි නිදහසේ පාවෙන ග්‍රහලෝක තාරකාවක් වටා පරිභ්‍රමණය නො වන , ග්‍රහලෝක තරම් විශාලත්වයක් ඇති වස්තූන් වනවා.
නො දැමුණු ග්‍රහලෝක (rouge planets) නමින් ද හඳුන්වන මෙවැනි ග්‍රහලෝක තාරකා බිහිවන වායු වලාවලින් හටගෙන ඒවායේ ආකර්ෂණයෙන් මිදී දඩාවතේ චලනය වන වස්තූන් ලෙසයි පවතින්නේ. ඔරායන් තාරකා මණ්ඩලයේ දඩයක්කරුගේ උදරය පෙදෙසේ මෙන් ම ක්ෂීර පථය තුළ හා ඉන් පිටත මෙවැනි නො දැමුණු ග්‍රහලෝක සිය ගණනක් ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මඟින් හඳුනාගෙන තිබෙනවා.
සමහර තාරකාවලින් මෙවැනි ග්‍රහලෝක ඈතට නිකුත් කර හරිනු ලැබුව ද වෙනත් තාරකාවලට ඒවා තම ගුරුත්ව බලය යටතේ රඳවා ගත හැකි වෙනවා. පසුගිය වසරේ දෙසැම්බර් මස 18 වෙනි දින Astrophysical Journal Letters ජර්නලයේ පළ කරනු ලැබූ මේ නවතම අනාවරණයට අනුව අපේ සූර්යයාගේ ළදරු අවධියේ දී මෙවැනි පාෂාණමය, නො දැමුණු ග්‍රහලෝක ගණනාවක් රඳවා තබාගෙන සිටිනවා විය හැකියි.
ඉහත අධ්‍යයන වාර්තාවේ ප්‍රධාන කතුවර එක්සත් ජනපදයේ ප්‍රින්ස්ටන් සරසවියේ තාරකා භෞතික විද්‍යාව ආචාර්ය උපාධි අපේක්ෂකයකු මෙන් ම තාරකාන්තර වස්තු අධ්‍යයනය සඳහා වන එම සරසවියේ වැඩ සටහනෙහි අධ්‍යක්ෂ අමිර් සිරාජ් විසින් යොදා ගන්නා ලද ආකෘති සහ අනුකරණයන් රාශියක් ආධාරයෙන් සොයාගෙන ඇත්තේ සූර්යයාගේ සිට නක්ෂත්‍ර විද්‍යා ඒකක 1,400 ක් ඈතින් අඟහරු මෙන් ස්කන්ධය ඇති ග්‍රහලෝක දෙකක් හෝ බුද ග්‍රහලොව මෙන් ස්කන්ධය ඇති ග්‍රහලෝක තුනේ සිට පහ දක්වා වන ගණනක් තිබිය හැකි බවයි. (නක්ෂත්‍ර විද්‍යා ඒකකයක් යනු පෘථිවියේ සිට සූර්යයාට ඇති දුර ප්‍රමාණයයි.) ඒ අනුව සූර්යයා විසින් හසු කරගත් ඒ ග්‍රහලෝක සෞර ග්‍රහ මණ්ඩලයට පිටතින් ඇති ඌට් වලාව තුළ පැවතිය හැකියි.
මේ අලුතෙන් යෝජනා කර තිබෙන ග්‍රහලෝක සූර්යයාගේ සිට කක්ෂත්‍ර විද්‍යා ඒකක 43 ක් දුරින් හිරු වටා පරිභ්‍රමණය වනු ඇතැ යි උපකල්පනය කර ඇති නෙප්චූන් වැනි කල්පිත ග්‍රහලොවක් වන X ග්‍රහලොව (Planet X) සමග සම්බන්ධයක් නොමැති බව දැක්වෙනවා.
ප්‍රේමශාන්ත කුමාරසිරි