Home Science News ජපානයේ ‘මූන් ස්නයිපර්’ හඳ අල්ලා නිහඬ වෙයි

ජපානයේ ‘මූන් ස්නයිපර්’ හඳ අල්ලා නිහඬ වෙයි

by Sathya

ඇස්ට්‍රොබොටික් සමාගමේ පෙරිග්‍රීන් චන්ද්‍ර යානය පෘථිවි වායුගෝලයට ඇතුළු වෙමින් විනාශ වද්දී තවත් චන්ද්‍ර යානයක් සාර්ථක ව සඳ මතු පිට මෘදු හා පාලිත ගොඩබෑමක් සිදු කළා. පෘථිවියෙහි ආසන්නතම අසල්වැසියා මතුපිට එවැනි ගොඩබෑමක් කළ පස් වැනි රට බවට පත් වෙමින් මේ හපන්කමට හිමිකම් කීවේ ජපානයයි. ඒ පසුගිය 19 වැනි දා සිය SLIM (Smart Lander for Investigating Moon) චන්ද්‍ර යානය මෘදු ලෙස චන්ද්‍රයා මත ගොඩ බස්වමින්.

සඳ මත මෘදු ලෙස ගොඩ බට සමාජයේ, ආරම්භක සාමාජිකයන් වනුයේ නිරවි යුධ සමයේ දී අභ්‍යවකාශය ජය ගැනූමට තරඟ වැදුණු සෝවියට් දේශය හා ඇමෙරිකා එක්සත් ජනපදයයි. එම සමාජයට එක් වුණු තුන්වැනි රට වූයේ 2013 දෙසැම්බරයේ සඳ මත ගොඩ බට චීනයයි. ඉන් පසු ව පසුගිය අගෝස්තුවේ චන්ද්‍රයාන් 3 සඳ මත ගොඩ බැස් වූ ඉන්දියාව ද මෙම සමාජයට එක් වුණා.

සඳ මත ගොඩ බට පස් වැනි රට බවට ජපානය පත් කරන්නට SLIM චන්ද්‍ර යානයට හැකි වුවත් එහි ආයු කාලය පැය කිහිපයකට පමණක් සීමා වුණා. Moon Sniper යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වන SLIM අපේක්ෂිත ගොඩබෑමේ නිරවද්‍යතාවය ලබා ගත් බව පෙනෙන්නට තිබෙන නමුත් ගොඩ බෑමෙන් පසුව එහි සූර්ය කෝෂ පැනල අපේක්ෂිත පරිදි විදුලිය ජනනය කරන බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. SLIM හි අනෙකුත් දෘඩාංග ක්‍රියාකාරී තත්වයේ බව පෙනෙන නිසා ගොඩ බෑමේ දී ඒවාට හානි සිදු වී ඇතැයි සිතීම ද අපහසු වී තිබෙනවා.. JAXA සඳහන් කරන්නේ ගොඩබැසීමේදි යානය අපේක්ෂිත පරිදි සූර්යයා දෙසට යොමු නො වීම මෙයට හේතුව විය හැකි බවයි. මේ නිසා SLIMහි වූ බැටරිය සතු ව තිබූ ජවය ප්‍රමාණවත් වූයේ ගොඩ බැසීමෙන් පසු මිනිත්තු කිහිපයක මෙහෙයුම් කටයුතු සඳහා පමණයි.

SLIM ගොඩබෑමේ-තාක්ෂණික ආදර්ශකයක් වුවත්, එය එක් චන්ද්‍ර දිනයක් හෝ පෘථිවි සති දෙකක පමණ කාලයක් ක්‍රියාත්මක ව පවතිනු ඇතැයි අපේක්ෂා කර තිබිණා. එසේ ම SLIM යානය LEV-1 සහ LEV-2 නමින් යුතු කුඩා රෝවර් දෙකක් ද රැගෙන ගොස් තිබුණා. මෙම කුඩා රොබෝ යානා නිර්මාණය කර තිබුණේ මව් යානාවෙන් බැහැරට ගොස් තමන් ම දත්ත එක් රැස් කර ගැනීමට හා සේයා රූ ලබා ගැනීමටයි. සාර්ථක ලෙස මෙම යානා යුග්මය ම විහිදුම්ගත කරන්නට SLIM සමත් ව තිබුණා.

සන්සරසිඳු

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications