Home Science News ළදරු වියේ පෘථිවිය මෙන් ලාවාවලින් වැසුණු පිටසක්වළ ග්‍රහලොවක් සොයා ගැනෙයි

ළදරු වියේ පෘථිවිය මෙන් ලාවාවලින් වැසුණු පිටසක්වළ ග්‍රහලොවක් සොයා ගැනෙයි

by Sathya

ආලෝක වර්ෂ 73 ක් ඈතින් සොයාගෙන ඇති පිටසක්වළ ග්‍රහලොවක් අප වෙසෙන පෘථිවිය සිය ළදරු වියේ දී කෙසේ පවතින්නට ඇති දැ යි දැන ගැනීමට අවස්ථාවක් ලබා දී තිබෙනවා.
HD 63433 d ලෙස නම් කර ඇති මේ ග්‍රහලොව පෘථිවියට වඩා යන්තමින් විශාල වන අතර දැනට සොයාගෙන තිබෙන කුඩා ම පිටසක්වළ ග්‍රහලොව ද වෙනවා.
එය පෘථිවියේ අරය මෙන් 1.073 වාරයක අරයක් ඇති අතර එහි වයස වසර මිලියන 500 කට වඩා අඩුයි.

“එය ආරම්භක පෘථිවියට සමාන නිසා ම ප්‍රයෝජනවත් ග්‍රහලෝකයක් වෙනවා. ”
එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා සරසවියේ තාරකා විද්‍යාඥ බෙන්ජමින් කැපිස්ට්‍රාන්ට් සමග එක් වූ මේ පිළිබඳ පර්යේෂණයේ සහායිකා විස්කොන්සින් – මැඩිසන් සරසවියේ තාරකා භෞතික විද්‍යාඥ Melinda Soares – Furtado පවසනවා.

මේ සතියේ The Astronomical Journal ජර්නලයේ පළ කරන ලද මේ සම්බන්ධ පර්යේෂණ වාර්තාවට අනුව ළදරු පෘථිවියට සමාන මේ ග්‍රහලොව සොයාගෙන තිබෙන්නේ පිටසක්වළ ග්‍රහලෝක සොයාගැනීමේ නිරත ව සිටින NASA ආයතනයට අයත් TESS (Transiting Exoplanet Survey Satellite) නම් අභ්‍යවකාශ දුරේක්ෂය ආධාරයෙනුයි.

මේ ග්‍රහලොව අයත් මව් තාරකාව මහ වලසා තාරකා මණ්ඩලය තුළින් දෙනෙතියකින් පවා දැකිය හැකි වන අතර එය අපේ සූර්යයාට සමාන විශාලත්වයක් හා ස්කන්ධයක් තිබෙන කහවන් වාමන තරුවක් වන HD 63433 තාරකාවයි. එහෙත් අපේ සූර්යයාගේ වසර බිලියන 4.5 ක් වන වයස සමග සසඳන විට මේ තරුව වයස වසර මිලියන 400 කට මඳක් වැඩි ළාබාල තාරකාවක් වනවා.
එය වටා පරිභ්‍රමණයේ යෙදෙන HD 63433 b සහ HD 63433 c නම් තවත් ග්‍රහලෝක දෙකක් සොයාගෙන ඇති නමුත් ඒවා පෘථිවියේ අරය මෙන් දෙගුණයකටත් වඩා වැඩියි.

HD 63433 d ග්‍රහලොව පෘථිවිය, අඟහරු හෝ සිකුරු හා සමාන පාෂාණමය ග්‍රහලොවක් වනවා.
එය අතිශයින් ම බැඳුණු කක්ෂයක මව් තාරකාව වටා පරිභ්‍රමණය වීමට දින 4.2 ක් තරම් කෙටි කාලයක් ගන්නා නිසා ම මව් තාරකාවට ඉතා සමීප ව චලිතයේ යෙදෙනවා.
තව ද මේ ග්‍රහලොව මව් තාරකාවට සැමවිට ම සිය එක් අර්ධයක් පමණක් හැරී පවත්වා ගන්නා බැවින් එම මතුපිටය තරුවේ අධික තාපයෙන් උණුසුම්ව ද්‍රවමය පාෂාණ සාගරයකින් වැසී පවතිනවා.
එහි දිවා අර්ධයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1,297 ක් පමණ වෙනවා.
එනිසා ම දිවා අර්ධය විශාල ලාවා සාගරයකින් සමන්විතයි.

එය අපට අනාගතයේ දී බොහෝ දෑ කියාදෙනු නිසැකයි.

Science Alert හා The Astronomical Journal ඇසුරෙනි.

ප්‍රේමශාන්ත කුමාරසිරි.

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications