කෝවිඩ් – 19 මෙන් 20 ගුණයක මරණ අනුපාතයක් ඇති වසංගත තත්ත්වයක් ගැන බලධාරීන්ගේ අවධානය යොමු වී තිබෙනවා. Disease X ලෙස නම් කර ඇති එය මිනිස් සංහතිය ම දණින් වට්ටන්නට සමත් වනු ඇතැ යි සැලකෙනවා. රෝගය නො වැළඳී ගැලවෙනු ඇත්තේ ඉතාමත් සීමිත පිරිසක් පමණයි. එය කෙතරම් දැඩි බලපෑමක් එල්ල කරනු ඇති ද යත් සෞඛ්‍ය පද්ධතිය ඇද වැටෙනු ඇති අතර, ලෝක ආර්ථකය සුනු විසුණු වී ගොස් යළිත් සොබා දහම විසින් ගිලගනු ඇතැ යි උපකල්පනය කෙරෙනවා.
වාසනවාකට මෙන් Disease X යනු කල්පිත වසංගතයක්. එය තවමත් ලොව මුහුණ දී නැති ව්‍යාධිකාරකයන් නියෝජනය කරන ‘පඩියක්’ වැනියි.
නමුත් පසුගිය දා ස්විට්සර්ලන්තයේ, ඩාවෝස්හි පැවැති World Economic Forum සමුළුවේ දී ලෝක නායකයන් අමතා ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කළේ එවන් අවස්ථාවක සම්භාවිතාව ගැන බරපතල ලෙස සිතා බැලිය යුතු ව ඇති බවයි.
ජාත්‍යන්තර සෞඛ්‍ය ප්‍රජාව තුළ ඇතැම් වසංගත තත්ත්ව සමග ගැටිය හැකි මනා සූදානමක් නො මැති තරම් බව ලෝක සෞඛ්‍ය සංවිධානය 2015 දී හඳුනා ගත්තා. වසංගත තත්ත්වයක් දක්වා පැතිර යා හැකි විභවය සහිත, ලෝකයා බිය විය යුතු ව්‍යාධිකාරකයන් ලයිස්තුගත කරමින් R&D Blueprint for Action to Prevent Epidemics නම් සැලසුම ක්‍රියාත්මක කෙරුණේ ඒ අනුවයි. 2018 වසරේ සිදු වූ රැස්වීමකින් පසු ව එහි කමිටුව තීරණය කළේ නො දන්නා විභවයක් සහිත ව්‍යාධිකාරක සඳහා ද ඉඩක් වෙන් කළ යුතු බවයි. Disease X කල්පිත රෝගය නිරූපණය කරන්නේ නරක ම විය හැකියාවන් සහිත ව්‍යාධිකාරකයක භූමිකාවයි.
මෙහි දී WHO අධ්‍යක්ෂ ජෙනරාල් Tedros Adhanom Ghebreyesus සඳහන් කළේ තම සංවිධානය දැනටමත් මෙවැනි රෝගයක් පාලනය කර ගැනීම සඳහා අවශ්‍ය අඩිතාලම දමමින් සිටින බවයි. ඒ අතර වසංගත අවස්ථාවල දී ප්‍රයෝජනයට ගත හැකි මූල්‍ය අරමුදලක් සහ දකුණු අප්‍රිකාව තුළ වැක්සීන බෙදා හැරීමේ දී මතු වන අභියෝගයන්ට ආමන්ත්‍රණය කළ හැකි තාක්ෂණ හුවමාරු මධ්‍යස්ථානයක් ඉදිකිරීම ද වනවා.
Science Alert ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්