Home Science News අයෝගේ යමහල් දුටු ජූනෝ

අයෝගේ යමහල් දුටු ජූනෝ

by Sathya

NASA ආයතනයේ Juno අභ්‍යවකාශ යානය බ්‍රහස්පති ග්‍රහයාගේ යමහල් පිරි උපග්‍රහයා වන අයෝගේ යමහල් විදාරණවල මෙතෙක් ලබාගෙන ඇති සවිස්තරාත්මක ම ඡායාරූප කිහිපය ලබා ගැනීමට සමත් ව තිබෙනවා. අයෝ චන්ද්‍රයා අසලින් සිදු කළ පියාසැරියේ දී ලබා ගැනුණු මෙම ඡායාරූප NASA ආයතනය, ලෝකය හමුවේ තැබුවේ ඉකුත් සෙනසුරාදා යි.

මෙම ඡායාරූප ලබා ගැනීම සිදු වී ඇත්තේ ජූනෝ යානය අයෝ හා සිදු කරන සමීපස්ථ පියාසැරි මාලාවක දෙ වැන්නේ දී යි. ඉන් අයෝගේ මතුපිටට යටින් සිදු වන ක්‍රියාකාරීත්වය පිළිබඳ අදහසක් ලබා ගැනීම සඳහා ග්‍රහ විද්‍යාඥයන් හට අතිශය ඉවහල් වනවා.

සැතපුම් 930ක උන්නතාංශයක් පවත්වාගනිමින් සිදු වූ මේ සමීප පියාසැරිය පසුගිය වසර 22 ක කාලයකට පසු අයෝ අසලින් ම සිදු වූ පියාසැරිය ලෙස සඳහන්.

අයෝ චන්ද්‍රයා නිරන්තරයෙන් ක්‍රියාත්මක වන ගුරුත්ව බලයන් දෙකක වධ බන්ධනයට ලක් වනවා. ඒ එක් අන්තයකින් බ්‍රහස්පතිගේ යෝධ ස්කන්ධය මඟින් ජනනය කරනු ලබන ගුරුත්ව බලයත්, අනෙක් පසින් අසල්වාසී උපග්‍රහයන් දෙදෙනා වන යුරෝපා සහ ගැනිමිඩ් මඟින් ඇති කෙරෙන ගුරුත්වයත් නිසා බව NASA ආයතනයේ ජූනෝ මෙහෙයුමේ ප්‍රධාන විද්‍යාඥයා වන Scott Bolton පහදා දෙනවා. අයෝ සෞරග්‍රහ මණ්ඩලය තුළ ඇති යමහල් ක්‍රියාකාරිත්වයෙන් අධික ම ආකාශ වස්තුව වන්නේ ද මෙම ගුරුත්ව ‘කඹ ඇදීම’ හේතුවෙන් ඇති වන ඝර්ෂණය නිසායි.

අයෝ මතුපිට ක්‍රියාකාරී යමහල් 400ක් පමණ තිබෙන බව ගණන්බලා තිබෙනවා. එවැනි යමහල් මඟින් අයෝගේ වායුගෝලයට වායූන් මුදා හැරෙන අයුරු ජූනෝ විසින් ලබා ගැනුණු ඡායාරූපවල දැක්වෙනවා.

පෘථිවියේ චන්ද්‍රයාට සාපේක්ෂ ව අයෝ විශාල වන්නේ මඳ වශයෙන් පමණක් වුවත් එහි පිහිටා ඇති යමහල් තරම් සුවිශාල යමහල් පෘථිවිය මත පවා දක්නට නැහැ. උදාහරණයක් වශයෙන් අයෝ මත පිහිටා ඇති විශාලතම යමහල වන Loki Patera, පෘථිවියේ විශාලතම ක්‍රයාකාරී යමහල මෙන් දෙගුණයක විශාලත්වයකින් යුතු වනවා.

Science Alert ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications