Home Science News වසර 11,000කට පෙර ඉදිකළ ගල් වැටියක් ජර්මනියෙන් හමු වේ

වසර 11,000කට පෙර ඉදිකළ ගල් වැටියක් ජර්මනියෙන් හමු වේ

by Sathya

ජර්මනියේ වෙරළ තීරයකට මිිටර 21ක් ඔබ්බෙන් ඉදිකර ඇති පුරාතන නො උස් ගල් වැටියක් සොයාගෙන තිබෙනවා. කිලෝමීටරයක පමණ දිගකින් යුතු එය වසර 11,000 කට ඉහත දී ඉදිකරන ලදැ යි සැක කෙරෙනවා. පිනිමුව රංචු පහසුවෙන් දඩයම් කළ හැකි පරිදි ඔවුන් එක් තැනක් වෙත යොමු කිරීම එය නිර්මාණය කිරීම පිටුපස ඇති අරමුණ වන්නට ඇති බවයි පුරාවිද්‍යාඥයන් අනුමාන කරන්නේ. එය යුරෝපයේ මෙතෙක් හමු වී ඇති ගල් යුගයට අයත් විශාලත ම පුරාඉදිකිරීම විය හැකි බව ද උපකල්පනය කෙරෙනවා.

2021 වසරේ මෙය පළමු වරට සොයා ගැනුණේ අහම්බයකින්. ජර්මනියේ Leibniz Institute for Baltic Sea Research Warnemünde පර්යේෂණායතනයේ භූ භෞතිකවිද්‍යාඥ Jacob Geersen, Rerik නම් මුහුදුබඩ නගරයට කිලෝමීටර 10ක් පමණ ඔබ්බෙන් වූ මුහුදේ සිය ශිෂ්‍යයන් පිරිසක් සමග පුහුණු අභ්‍යාසයක නිරත වී සිටියා. ඔවුන් එහි දී සොනාර් තාක්ෂණය උපකාර කරගෙන සාගර පත්ල සිතියම් ගත කර තිබුණා. එහි යම් අසාමාන්‍ය ලක්ෂණයක් පෙන්නුම් කෙරෙන බව වැටහී ගියේ ඒ අනුවයි.

“පසු ව, පර්යේෂණාගාරය තුළ දී සිදු කළ විශ්ලේෂණ මඟින් අපට වැටහී ගියා මේ ව්‍යුහය ස්වභාවික බවක් නො පෙන්වන බව.” Geersen සඳහන් කරනවා.

2022 දී ඔහු සහ පර්යේෂණ සගයන් අදාළ ව්‍යුහයට පිරික්සා බැලීම සඳහා නො ගැඹුරු සාගර පත්ල වෙත කැමරාවක් පහත් කළ අතර ඉන් එය ගල් කුට්ටි අසුරා සකස් කරන ලද්දක් බව වඩාත් හොඳින් නිරීක්ෂණය වුණා. “එය විශේෂ යමක් විය හැකි බව වටාහාගත් පසු ව යි අපි පුරාවිද්‍යාඥයන් දැනුවත් කිරීමට පියවර ගත්තේ.” Geersen පවසනවා.

නූතනයේ ජලයට යටින් මෙම ඉදිකිරීම සිදුකර ඇති බවක් නොපෙනෙන බවත් එයට හේතුවක් පෙනෙන්න් ද නැති බවත් පර්යේෂණ කණ්ඩායමේ පුරාවිද්‍යාඥ Marcel Bradtmöller සඳහන් කරනවා. එසේ ම එවැන්නක් ස්වභාවික යමකින් ද හටගත නො හැකි බවයි ඔවුන් නිගමනය කරන්නේ.

ඒ අනුව එම භූමි කලාපය සාගරයෙන් යට වීමට පෙර, එනම් අදින් වසර 8,500ත් 14,000ත් අතර කාලයක පුරාතන මානවයන් එය ඉදි කරන්නට ඇති ය යන්න දැනට ඇති වඩාත් සවිස්තරාත්මක පැහැදිලි කිරීමයි.

New Scientist ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications