පසුගිය ජනවාරි 21 වැනි දා ජර්මනියට ඉහළින් පිපිරී ගිය ග්‍රහක කැබැල්ලකින් විසිරී ගිය කොටස් අතිශය දුර්ලභ අභ්‍යවකාශ පාෂාණයක් බව තහවුරු කරගෙන තිබෙනවා. විද්‍යාඥයන් අනුමානය කරන පරිදි පෘථිවියේ සම්භවය ගැන සොයා යන ගමනේ මෙම සොයා ගැනීම වැදගත් හෝඩුවාවක් වීමට නියමිතයි.
විද්‍යාඥයන් සැක කරන්නේ එම උල්කාශ්ම කොටස්වල මවු ග්‍රහකය 2024 BX1 ලෙස නම් කර ඇති පසුගිය ජනවාරි 21 වැනි දා පෘථිවි වායුගෝලයට ඇතුළු වූ මීටරයක විශ්කම්භයක් සහිත ග්‍රහකය විය යුතු බවයි. එම උල්කාශ්ම කොටස් සතු අද්විතීය මෙන් ම වෙනස් පෙනුම සහ රටාවන් මඟින් ඒවා දුර්ලභ උල්කාශ්ම කාණ්ඩයක් ලෙස සැලකෙන aubrites කාණ්ඩයට අයත් බව සොයාගැනුණා.
උල්කාපාත කොටස් සොයා ගත් විද්‍යාඥ කණ්ඩායමේ වූ SETI ආයතනයේ උල්කාපාත විද්‍යාඥ පීටර් ජෙනිස්කන්ස් (Peter Jenniskens) සඳහන් කරන්නේ මෙතෙක් කලකට aubrites කාණ්ඩයේ උල්කාපාත පොළොව මත තිබිය දී සොයාගෙන ඇත්තේ 11ක් පමණක් බවයි. එය කෙතරම් දුර්ලභ දැ යි කිවහොත් අප දන්නා උල්කාපාත වර්ග අතුරින් ද එය නියෝජනය කරන්නේ 1%ක් තරම් අවම ප්‍රතිශතයක්.
2024 BX1 ග්‍රහකයෙන් ආ උල්කාපාත බැලූ බැල්මට අනෙකුත් උල්කාපාතවලින් වෙනස් වන්නේ කළු පැහැති ඝන කබොලක් වෙනුවට එහි මතුපිට ඇති පාරභාසී වීදුරුමය කබොල හේතුවෙනි. ඉන් එයට අළු පැහැති කළුගලක පෙනුම ලැබී තිබෙනවා. එනිසා මුල දී පෘථිවිය මතුපිට ඇති අනෙකුත් පාෂාණ වෙතින් වෙන් කර හඳුනා ගැනීමට අපහසුයි.
“මේ කඩාවැටීම හා සම්බන්ධ රසවත් ම දේ තමයි, එහි තිබෙන අලංකාර දනවන කක්ෂය. කක්ෂයේ හැඩයෙන් ම මේ උල්කාපාතවල සම්භවය සිදු වූ ප්‍රෙද්ශය ගැන හෝඩුවාවන් හෙළිකර ගත හැකියි. ඒ අනුව මේවා පැමිණියේ අඟහරු සහ බ්‍රහස්පති අතර ඇති ග්‍රහක පටියේ අභ්‍යන්තර කලාපයෙන් වීමට වැඩි ඉඩක් තිබෙනවා. එතන බොහෝ විට සුන්බුන් ඉහිරී තිබෙන තැනක් වනවාට සැකයක් නැහැ. එහි දී ඇති වන ගැටුමකින් ‘ග්‍රහක පවුලක්’ වශයෙන් හැඳින්විය හැකි කුඩා කොටස් ගණනාවක් විසුරුවා හැරෙනවා.” ජෙනිස්කන්ස් පවසනවා.
2024 BX1 වැනි වූ ප්‍රධාන ග්‍රහක පටියට අයත් ග්‍රහකවල සම්භවය සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝකවල සම්භවය තරම්ම, එනම් වසර බිලියන 4.5කට පමණ ඈතකට ඇදී යනවා. ඒවා තැනෙන්නේ ළදරු තාරකාව වටා ඇති, ග්‍රහයන් තැනීම සඳහා සහභාගී නො වූ අමුද්‍රව්‍ය කැටිවෙමින්.
2024 BX1 මුලින් ම නිරීක්ෂණය කර තිබුණේ හන්ගේරියාවේ Konkoly නිරීක්ෂණාගාරයේ තාරකා විද්‍යාඥ Krisztián Sárneczky විසින්. ඔහුගේ දැනුම් දීමට පසු එය NASA ආයතනයේ Near-Earth Asteroid Scout හා යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සියේ Meerkat Asteroid Guard වැනි ඝට්ටන උවදුරු ඇගයීම් පද්ධති මඟින් විශ්ලේෂණය කෙරුණා. එම ද්විත්වය ම නිගමනය කර තිබුණේ ග්‍රහකය පෘථිවිය හා ගැටෙන බවයි. මීටරයක විශ්කම්භයකට නො වැඩි එය පෘථිවි වායුගෝලයට ඇතුළු වීමට පෙර හඳුනා ගන්නා ලද ග්‍රහක අතුරින් කුඩා ම ග්‍රහකය වන්නට ද ඉඩ තිබෙන බව මාධ්‍ය වාර්තා අනාවරණය කරනවා.
ඉකුත් ජනවාරි 21 දා ජර්මනියේ මියුනිච් නගරයට ඉහළින් වායුගෝලයට ඇතුළු වූ එය, යුරෝපානු ඉහළ අහසේ දීප්තිමත් ගිනි බෝලයක් ලෙසින් ඇදී ගොස් පිපිරී තිබුණා.
Scientific American ඇසුරෙනි.
සත්‍ය හෙට්ටිආරච්චි