ඇන්ටාක්ටික් සාගර කලාපයේ වෙසෙන යෝධ මුහුදු මකුළුවන්ගේ බිජු ළෑමෙන් අනතුරු ව ඒවා රැකබලා ගන්නේ කෙසේ දැ යි වසර 140ක් තිස්සේ සාගර ජීව විද්‍යාඥයන් දැන සිටියේ නැහැ. මේ අබිරහස විසඳමින් සිදු වූ අධ්‍යයනයකින් හෙළි වන්නේ ඔවුන් අනෙකුත් සාගරවාසී මකුළු විශේෂ මෙන් බිත්තර සිරුරේ තැන්පත් කරගනිමින් යන යන තැන රැගෙන යනවා වෙනුවට ඒවා දහස් ගණනින් සාගර පත්ලට සවි කරන බවයි.
ආත්‍රපෝඩා වංශයට අයත් සාගර මකුළුවන් ලොව පුරා මුහුදු කලාපවල වාසය කරනවා. ඉතා සිහින් සහ සාපේක්ෂ ව දිගු පාද අට බැගින් ඔවුන් සතුයි. බොහෝ වැඩුණු මුහුදු මකුළුවකුගේ දිග අඟලක් පමණ වනවා. නමුත් යෝධ ඇන්ටාක්ටික් මුහුදු මකුළුවා (Colossendeis megalonyx) වැනි ධ්‍රැවාසන්න සාගර කලාපවල වෙසෙන මකුළුවන් “polar gigantism” හෙවත් “ධ්‍රැවීය යෝධතාව” ලෙස හැඳින්වෙන සංසිද්ධිය හේතුවෙන් විශාල සිරුරු දරනවා. වැඩුණු යෝධ ඇන්ටාක්ටික් මුහුදු මකුළුවකුගේ දිග අඟල් 20ක් පමණ වන්නේ ඒ නිසයි.
නව අධ්‍යයනයේ ප්‍රධාන කර්තෘවරයා වන හවායි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Amy Moran පෙන්වා දෙන පරිදි බොහෝ විට සාගර මකුළුවන් අතරේ දැකිය හැකි වන්නේ වන්නේ පිරිමි මකුළුවා විසින් සිය කුඩා පැටවුන් ආරක්ෂා කරමින්, ඔවුන් වැඩෙන තුරු ම යන යන තැන රැගෙන යාමයි. නමුත් C. megalonyx එයට අයත් වූයේ නැහැ. අද වන තුරු ම පැවතියේ අබිරහසක් ලෙසයි.
මේ විශේෂයට අයත් මකුළුවන් සිය බිජු ආරක්ෂා කරන්නේ කෙසේ දැ යි අනාවරණය කරගැනීමට පර්යේෂකයන් සිදු කළේ ඇන්ටාක්ටිකාවේ McMurdo Sound අසල මුහුදේ කිමිදී සංවාසය කණ්ඩායම් බවට සැක කළ හැකි C. megalonyx මකුළුවන් ගොඩට රැගෙන ඒමයි.
විශේෂිත ටැංකිවල බහාලීමෙන් අනතුරු ව සිදු කරන ලද නිරීක්ෂණවලින් සොයාගත හැකි ව තිබුණේ ටැංකියේ පත්ලේ මකුළු බිත්තර දහස් ගණනක් තැන්පත් වී ඇති බවයි. පිරිමි මකුළුවා අනෙකුත් විශේෂ මෙන් බිත්තර තමා සන්තකයේ තබා ගනු වෙනුවට මෙහි දී බිත්තර දමා ඇති ප්‍රදේශයට ඉහළින් ආවරණයක් සේ රැඳී සිටින බව ද නිරීක්ෂණය වී තිබුණා.
සති කිහිපයක් ගත වීමත් සමග බිත්තර ඇල්ගේවලින් වැසී ගිය අතර පිටත සිට ඒවා නිරීක්ෂණය කිරීම අපහසු වී තිබුණා. පර්යේෂකයන් පෙන්වා දෙන්නේ යෝධ ඇන්ටාක්ටික් මකුළු බිත්තර ස්වභාවික පරිසර පද්ධතියේ දී ඇල්ගේ මඟින් ආවරණය වීම ඒවායේ ආරක්ෂාව වඩාත් තහවුරු කරන බවයි.
Live Science ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්