Home Science News ලොව මෙතෙක් හඳුනාගත් පැරණිතම ෆොසිල වනාන්තරය සොයා ගැනේ

ලොව මෙතෙක් හඳුනාගත් පැරණිතම ෆොසිල වනාන්තරය සොයා ගැනේ

by Sathya

ලොව දැනට හඳුනාගෙන ඇති ඉපැරැණි ම ෆොසිල වනාන්තරය වයඹදිග එංගලන්තයෙන් අනාවරණය කර ගැනීමට විද්‍යාඥයින්ට හැකි වී තිබෙනවා. පසුගිය පෙබරවාරි මස 23 වෙනි දින Journal of the Geological Society ජර්නලයේ දැක්වෙන වාර්තාවකට අනුව මධ්‍ය ඩෙවෝනියන් අවධියට අයත් මේ ෆොසිල වනාන්තරයේ වයස අවුරුදු මිලියන 390 ක් වනවා. මධ්‍ය ඩෙවෝනියන් අවධිය අදින් වසර මිලියන 393 සිට 383 ඉහත කාලය දක්වා පැවති අවධියක්.

මේ ෆොසිල වනාන්තරය සොයාගත් Hangman Sandstone Formation ප්‍රදේශය අයත් එක්සත් රාජධානිය ඩෙවෝනියන් අවධියේ දී ලොරෙන්ෂියාව නම් මහාද්වීපයේ කොටසක් ලෙස පැවති අතර එය සමකයට යන්තමින් පහළින් පැවති නිසාම උණුසුම් හා වියලි දේශගුණයකින් යුක්ත ව පැවතුණක්.

මේ දක්වා ලොව පැරණිතම ෆොසිල වනාන්තරය ලෙස හඳුනාගෙන තිබූ එක්සත් ජනපදයේ නිව් යෝර්ක්හි පිහිටි ගිල්බෝවා ෆොසිල වනාන්තරයේ වයස වන අවුරුදු මිලියන 386 ක වාර්තාව නව සොයාගැනීම නිසා බිඳ වැටෙනවා.

අලුතෙන් සොයාගත් ෆොසිල වන්නාන්තරයේ පාම් වැනි ශාක සහ ආත්‍රොපොඩාවන්ගේ සළකුණු හඳුනාගෙන තිබෙනවා.

ඉහත අධ්‍යයන වාර්තාවේ ප්‍රධාන කතුවර එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් සරසවියේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය නීල් ඩේවීස් සඳහන් කරන්නේ නව ෆොසිල වනාන්තරයෙන් හෙළි වන පරිසර පද්ධතිය වසර මිලියන කීපයක් තරම් කෙටි කාලයක දී ම එක්සත් ජනපදයේ ගිල්බෝවා ෆොසිල වනබිමේ පරිසර පද්ධතියෙන් වෙනස් වන සාපේක්ෂ ව ප්‍රාථමික ලක්ෂණ දරන බවයි.

මේ නව ෆොසිල වනාන්තරයේ සොයාගෙන තිබෙන දැනට වඳ වී ගොස් ඇති ක්ලැඩොක්සිලොප්සිඩ් නම් ශාක කාණ්ඩය දනට ජීවමාන ව පවතින පර්ණාංග සහ ස්පීනොප්සිඩ් හෙවත් අශ්ව වල්ග (Horsetails) නම් ශාක කාණ්ඩවලට සමීප සම්බන්ධතාවක් ඇති බව ඩේවීස් සඳහන් කරනවා.

මෙම ක්ලැඩොක්සිලොප්සිඩ් නම් කාණ්ඩයට අයත් ශාක පාම් ශාක මෙන් කිණිති වලට බෙදී ගිය දිගු, මධ්‍ය කඳක් සහිත බව පෙනී තිබෙනවා.
මේ ශාකවල උස අඩි 6.5 සිට 13 (මීටර් 2 සිට 4) දක්වා වන බැවින් අනාවරණය වූ ඉපැරැණි ම ෆොසිල වනාන්තරය ඉතා උස් ශාකවලින් හෙබි වනබිමක් නො වන බව නීල් ඩේවීස් පවසනවා.

Live Science සහ Journal of the Geological Society ඇසුරෙනි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications