ටීනියා ආසාදන ශ්‍රී ලංකාව පුරා පැතිර යාමේ අවධානමක් පවතින බව පසුගිය දා අනාවරණ වුණා. චර්ම රෝලටක් වන එය මේ වන විට වේගයෙන් ජන රාශි පුරා පැතිර යන බව හඳුනාගෙන තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ජානක අකරවිට සඳහන් කරන්නේ එය වැඩිහිටියන් සහ දරුවන් අතර ද එක සේ පැතිර යන බවයි.
එය වැළඳී ඇති බවට සනාථ කර ගත හැකි ප්‍රධාන රෝග ලක්ෂණය වනුයේ සම මතුපිට රතු හෝ රෝස පැහැති මුදුවක ආකාරයේ කුෂ්ඨයක් මතු වී තිබීමයි. ටීනියා ආසාදනය සිරුරේ බහුල වශයෙන් දහඩිය රැස්වන තැන් වන කිහිල්ල, යටිපතුල් සහ නළලත දෙපස වැනි ස්ථානවල හට ගැනීමේ වැඩි ඉඩකඩක් පවතින බව වෛද්‍ය අකරවිට සඳහන් කරනවා. ස්පර්ෂය ඔස්සේ පැතිර යන එය සමීප පුද්ගලයන් අතර පැතිර යාමේ ඉඩ පවතිනවා.
උණුසුම් මෙන් ම ජල වාශ්ප අධික පරිසර තත්ත්වවල බහුල ලෙස පැතිර යන මෙම චර්ම රෝගය ඇති වන්නේ දිලීර ආසාදනයක් මඟින්. යටි පතුල්, ඉඟටිය, නළලත දෙපස මෙන් ම කාන්තාවන්ගේ නම් ලැම ආශ්‍රිත ව ද මෙය පැතිර යනවා. එසේ ම මෙම රෝගය පතුරුවන එක් දිලීර විශේෂයක් ඇඟිලිවල නිය ආශ්‍රිත ව ද පැතිර යනවා.
සිරුරේ බඳ ආශ්‍රිත ව හටගන්නා ටීනියා ආසාදන tinea corporis ලෙසත්, නළලත ආශ්‍රිත ආසාදන tinea capitis ලෙසත් හැඳින්වෙනවා. ඉඟටිය ආශ්‍රිත ව හටගන්නා ආසාදන වෛද්‍ය විද්‍යාත්මක ව හැඳින්වෙන්නේ tinea cruris ලෙසයි.
සනීපාරක්ෂක පුරුදු ඉහළ මට්ටමකින් පවත්වා ගැනීමෙන් ටීනියා ආසාදනවලින් මිදී සිටිය හැකි බව ගෝලීය මූලාශ්‍ර පෙන්වා දෙනවා. තුවා, ක්‍රීම් වර්ග, සපත්තු, මේස් ආදිය පොදුවේ පරිහරණයෙන් වැළකීම ඒ අතරින් ප්‍රධානයි. ස්නානයෙන් පසු සිරුරේ ජලය රැඳෙන ස්ථාන හොඳින් පිස දා වියළා ගැනීම ද වැදගත් බව දැක්වෙනවා. මේස් ඇඟලා ගැනීමට පෙර පාද දියෙන් තෙත් වී නැති බව ද තහවුරු කර ගැනීම වැදගත්.
චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්ද්‍රා කහවිට සඳහන් කරන පරිදි මෙම රොගය වැළඳුණු විට එය පාලනය කර ගැනීමට නම් නිසි සුදුසුකම් සපුරා ඇති වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම අනිවාර්ය වනවා. සිරුරේ තැනක හෝ දෙතැනක පමණක් කුෂ්ඨයක් මතු වී ඇති බව නිරීක්ෂණය වන්නේ නම් පවුලේ වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සුදුසු බව වෛද්‍ය කහවිට පෙන්වා දෙනවා. කෙසේ නමුත් එයින් සුව නො වන බව පෙනී යන්නේ නම් වහා ම ළඟ ම ඇති රජයේ රෝහලේ චර්ම රෝග විශේෂඥයා වෙත යා යුතු බව ඔහු අවධාරණය කරනවා.
සෞන්දර්ය සෙනරත්