විශ්වය නිරීක්ෂණය කිරීම සඳහා සෞරග්‍රහ මණ්ඩලයේ ඇති හොඳ ම ස්ථාන වශයෙන් සැලකෙන සඳෙහි පිහිටි කලාප අනාගතයේ දී වඩාත් සූක්ෂ්ම මෙන් ම සංකීර්ණ නිරීක්ෂණ උපාංග ඉදි කිරීමේ ව්‍යාපෘති දියත් වන තෙක් කඩිනමින් ආරක්ෂිත කලාප ලෙස නම් කළ යුතු බවට තාරකා විද්‍යාඥයන් හඬ නඟනවා.
මෙලෙස තෝරාගෙන ඇති ස්ථාන චන්ද්‍ර කම්පනවලට ලක් නො වන ප්‍රෙද්ශ වන අතර අධික ලෙස ශීත වටපිටාවකින් ද හෙබි වන්නේ නැහැ. එම ස්ථාන සතු වඩාත් ම වැදගත් ගුණාංගය වන්නේ පෘථිවියෙන් නික්මෙන විකාශන රේඩියෝ තරංගවලින් දූෂණයට ලක් නො වන පරිදි පිහිටීමයි.
කෙසේ නමුත් චන්ද්‍රයා වෙත දියත් වන මෙහෙයුම් විශාල ලෙස වැඩි වීමත් සමඟ මෙකී වැදගත් ස්ථානවල ඇති අද්විතීය බව ක්ෂය වී යාමේ අවදානමක් මතු වී තිබෙනවා. නුදුරු අනාගතයේ තව තවත් වැඩි වීමට නියමිත චන්ද්‍ර සන්නිවේදන හා යාත්‍රණ චන්ද්‍රිකා, රෝවර් සහ ඛණිජ සඳහා සිදු වන කැණීම් ආදිය මෙම සංවේදී ප්‍රදේශවලට බලපානු ඇත්තේ අයහපත් ලෙසයි.
මැසචුසෙට්ස්හි තාරකා භෞතික විද්‍යාව පිළිබඳ හාවර්ඩ් සහ ස්මිත්සෝනියන් මධ්‍යස්ථානයේ සේවය කරන තාරකා විද්‍යාඥ මාර්ටින් එල්විස් සඳහන් කරන්නේ මේ හේතුවෙන් විශ්වය තේරුම්ගැනීමට ඇති අද්විතීය අවස්ථාවක් මඟහැරී යාමේ අවදානම මතු ව තිබෙන බවයි.
2026 වන විට ජාත්‍යන්තර මෙහෙයුම් 22ක් සඳ වෙත ළඟා වීමට නියමිතයි. ඉන් අඩක් පමණ ම සිය ගොඩබැසුම් ස්ථානය ලෙස තෝරාගෙන තිබෙන්නේ චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයට ආසන්න ප්‍රදේශයි. 2030 වන විට එකක් ඇමරිකාවටත්, අනෙක රුසියාවට හා චීනයට අයත් වන පරිදි චන්ද්‍ර නැවතුම්පොළවල් දෙකක් ද ඉදි වීමට නියමිත ව තිබෙනවා.
තාරකා විද්‍යාඥයන් පවසන්නේ යම් අධිකාරීමය බලයක් හිමි සම්බන්ධීකරණ ක්‍රියාපටිපාටියකින් මේ සියල්ල තෝරා බේරා නො ගතහොත් අනාගතයේ දී සඳ මත ද මතභේදාත්මක තත්ත්ව උද්ගත වීම වළක්වාගත නො හැකි වනු ඇති බවයි.
අහස නිරීක්ෂණය සඳහා වැදගත් වන සංවේදී කලාපවලට වෙනත් මෙහෙයුම් මඟින් සිදු විය හැකි බලපෑම් ගණනාවක් තිබෙනවා. ඒවා භෞතිකමය ඝට්ටනයන්ගේ සිට විද්‍යුත් චුම්භක බාධා පැමිණ වීම් දක්වා පරාසයක පවතිනවා. කැණීම් හේතුවෙන් භූමිය කම්පනයට ලක් වීම සහ ඇති වන දුහුවිලි වලාවන් හේතුවෙන් දෘශ්‍ය පරාසය අපැහැදිලි වීම ද පැනනඟින ගැටලු අතර වනවා.
The Guardian ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්