ලෝකයේ භූගෝලීය කාලපරාසයන් නම් කිරීම පිළිබඳ අධිකාරිත්වය දරන International Union of Geological Sciences (IUGS) විසින් දැඩි මතවාදයට තුඩු දුන් ඇන්ත්‍රොපොසීන යුගය (Anthropocene) නම් කිරීම පිළිබඳ යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජය කොට තිබෙනවා.
1952 වසරෙන් වසර 11,700කට පෙර ඇරඹි හොලෝසීන යුගය අවසන් වූ බවත් එතැන් සිට මානවයා සිය අභිමතය පරිදි ලෝකය වෙනස් කරන්නටත් හසුරුවන්නටත් පටන් ගත් බැවින් එතැන් සිට යුගය ඇන්ත්‍රොපොසීන යුගය ලෙස නම් කළ යුතු බවත් කලක සිට ම ඇතැම් භූ විද්‍යාඥයන් අතර ඇවිළුණු මතවාදයක් ව තිබුණා.
IUGSහි ම අනු කමිටුවක් ලෙසින් යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා පෙරමුණ ගත් Anthropocene working group (AWG) සිය යෝජනාවලිය සංවර්ධනය කිරීම සඳහා වසර 15ක කාලයක් වැය කර තිබුණා. එය යෝජනා කර තිබුණේ 1952 ආශ්‍රිත ව සිදු වූ හයිඩ්‍රජන් බෝම්බ අත්හදා බැලීම් මඟින් විසිරී පරිසරය හා මුහු වූ විකිරණශීලී සමස්ථානික මිනිස් වර්ගයා පෘථිවියේ ගමන වෙනස් කිරීමට මුල පිරීම පෙන්නුම් කෙරෙන හොඳ ම සංධිස්ථානය බවයි. භූගෝලීය යුගයන් නිර්ණය කිරීමේ දී එය නිර්වචනය කළ හැකි නිෂ්චිත ස්ථානයක් නම් කිරීම අනිවාර්ය කරුණක් වන නිසා මේ සඳහා කැනඩාවේ ක්‍රෝෆෝර්ඩ් සිංක්හෝල් විල තෝරාගෙන තිබුණා.
IUGS නිවේදනය කර ඇති පරිදි 1952 වසරෙන් ඇන්ත්‍රොපොසීන යුගය ඇරඹි බවට වූ යෝජනව පරාජය කොට ඇත්තේ පවත්වන ලද මත විමසුම්වට කිහිපයකින් අනතුරු ව යි. මෙහි දී යෝජනාවට විරුද්ධව ගොඩනැඟුණු මතවාදවලින් පෙන්නුම් කර තිබුණේ මිනිසා විසින් ස්වභාවික පරිසරය සිය අණසකට ගත් කාලය 1952ට වඩා ඈත අතීතයට දිව යන බවයි. කෘෂිකර්මාන්තය ඇරඹීම මෙන් ම කාර්මික විප්ලවය ද ඇත්තේ 1952ට පෙර බව එහි දී සාකච්ඡාවට බඳුන් වී තිබුණා. එසේ ම යෝජිත කාල සීමාවේ සිට සාමාන්‍ය මිනිසෙකුගේ ආයු කාලය වත් හරි හැටි ඉක්ම නො ගොස් ඇති බැවින් එතරම් කෙටි කාල පරාසයකින් යුගයක් නිර්වචනය කිරීමේ දී නිරවද්‍යතාව පිළිබඳ ද ප්‍රශ්නයක් මතු වනවා. දැනට නම් කෙරී ඇති භූගෝලීය යුගයන් වසර දහස් ගණනක සිට මිලියන ගණනක් දක්වා දිගු වනවා.
“ඇන්ත්‍රොපොසීනය සංකල්පයක් ලෙස පෘථිවිය සහ පරිසර විද්‍යාඥයින් විසින් පමණක් නොව, සමාජ විද්‍යාඥයින්, දේශපාලඥයින් සහ ආර්ථික විද්‍යාඥයින් විසින් මෙන්ම මහජනතාව විසින් ද පුළුල් ලෙස භාවිතා කරනු ඇත. එනිසා එය මානව-පරිසර අන්තර්ක්‍රියා වල අගනා විස්තරයක් ලෙස (පමණක්) පවතිනු ඇත.” IUGS සිය නිවේදනයේ සඳහන් කරනවා.
යෝජනාව තීරණාත්මක පරාජයක් ලැබුවත් AWG විද්‍යා ප්‍රජාවට වැදගත් සේවයක් ඉටු කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. ඔවුන් මෙහි දී ගොනු කර ගත් දත්ත සමුදාය අනාගත පරිශීලනය සඳහා අතිශයෙන් වැදගත් වනු ඇති බව IUGS සඳහන් කරනවා.
The Guardian ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්