ලබන අප්‍රේල් 08 වැනි දා ඇමරිකාව, කැනඩාව මෙන් ම මෙක්සිකෝව ද අඳුරේ ගිල්වමින් හිරු හිරු චන්ද්‍රයාගෙන් වැසී යාමට නියමිතයි. ඒ පූර්ණ සූර්යග්‍රහණයක අත්දැකීම හිමි කර දෙමින්. එය නැරඹීම සඳහා එම කලාපය තුළ ජීවත් වන මිලියන ගණනින් ජනතාව සැදී පැහැදී සිටින අතරේ වර්ජිනියාහි නාසා ඉංජිනේරුවන් සූදානමින් සිටින්නේ සූර්යග්‍රහණයේ සෙවණැල්ල වෙත ඍජු ව රොකට් යානා තුනක් දියත් කිරීමටයි.
බැලූ බැල්මට පෙනෙන්නට ඇති ගුප්ත බවට අමතර ව මෙහි වැදගත් විද්‍යාත්මක අරමුණක් ද තිබෙනවා. එනම් කෙටි කාලයක් තුළ සිදු වන හිරු එළියේ අහිමි වී යාම වායුගෝලයේ ඉහළ ස්තරවලට කරන බලපෑම පරීක්ෂා කර බැලීමයි.
එක් වරම පරිසරය වෙළාගන්නා අන්ධකාරය හේතුවෙන් මෙවැනි අවස්ථාවල දී සතුන් සිය රාත්‍රී කාලයේ හැසිරීම් රටාවලට අනුගත වන බව නිරීක්ෂණය කර තිබෙනවා. එහෙත් මෙවැනි අවස්ථාවක දී පෘථිවියේ ඉහළ වායුගෝලය සහ පහළ වායුගෝලය අතර කිලෝමීටර 09 සිට 500 දක්වා ඉහළින් පිහිටන අයනගෝලයට සිදු වන බලපෑම ගැන වැඩිමනක් තොරතුරු මෙතෙක් හෙළි කරගෙන නැහැ.
සාමාන්‍ය අවස්ථාවල දී එම කලාපයේ සිදු වන්නේ දිවා කල සූර්යයාගෙන් නික්මෙන පාරජම්බුල විකිරණය හේතුවෙන් පරමාණුවල ඇති ඉලෙක්ට්‍රෝන වෙන් වීමයි. එනිසා දිවා කාලයේ එම කලාපය තුළ ආරෝපිත අංශු බහුල ලෙස පවතිනවා. හිරු බැස යාමේ දී මේවා යළිත් පරමාණු හා බන්ධනය වන අතර නැවතත් සුපුරුදු ක්‍රියාවලිය ම පසු දින හිරු පහන් වීමෙන් ඇරඹෙනවා. මෙම සංසිද්ධිය මඟින් රේඩියෝ සහ චන්ද්‍රිකා සන්නිවේදන ක්‍රියාවලියට බාධා ඇති කෙරෙනවා.
අප්‍රේල් 8 වැනි දා සිදු කෙරෙන දියත් කිරීම් තුනෙන් NASA විද්‍යාඥයන් බලාපොරොත්තු වන්නේ මෙවැනි බාධාවන් පූරෝකථනය කිරීමට හැකි වන පරිදි සෑහෙන දත්ත ප්‍රමාණයක් එක්කාසු කර ගැනීමයි. මෙම දියත් කිරීම් තුන සිදු වනු ඇත්තේ සම්පූර්ණ සෙවණැල්ල පතිත වීමට පෙර, ඒ අතර තුර සහ ඉන් පසු ව යන අවස්ථා තුනේ අයනගෝලයේ හැසිරීම වෙන වෙන ම නියෝජනය කළ හැකි වන පරිදියි.
Live Science ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්