Home Science News අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අයත් බවට සැක කෙරෙන කොටසක් ෆ්ලොරිඩාවේ නිවෙසකට කඩා වැටේ

අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අයත් බවට සැක කෙරෙන කොටසක් ෆ්ලොරිඩාවේ නිවෙසකට කඩා වැටේ

by Sathya

අභ්‍යවකාශයේ සිට ඇදී ආ ලෝහ කැබැල්ලක් ෆ්ලොරීඩාහි නිවෙසක් මතට ඇද වැටීමේ සිදු වීමක් පිළිබඳ NASA ආයතනය සිය විමර්ෂණ අරඹා තිබෙනවා. මෙසේ ඇද වැටුණු සැලකිය යුතු ප්‍රමාණයකින් යුතු ලෝහ කැබැල්ල ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය 2021 දී භාවිතයෙන් ඉවත් කළ විද්‍යුත් කෝෂයක කොටසක් විය හැකි බවට සැක කෙරෙනවා.

රාත්තල් 5800ක බරකින් යුතු මෙම ලෝහ කොටස ෆ්ලොරිඩාවේ නේපල්ස්හි පිහිටි Alejandro Oteroගේ නිවෙසට ඇද වැටී තිබුණේ ඉකුත් මාර්තු 08 වැනි දා යි. සිදු වීම වන විට නිවාඩුවක් ගත කිරීමට ගොස් සිටි ඔහුට දුරකථන ඇමතුමක් දුන් පුතු, අති විශාල ශබ්දයක් ඇසුණු බවත් සිවිලිම සහ තවත් මහල් දෙකක් සිදුරු වී ඇති බවත් දැනුම් දී තිබුණා. නිවසේ පිටත සවි කර තිබූ ආරක්ෂක කැමරාවක සිදු වීමෙන් හටගත් ශබ්දය පටිගත වී තිබුණා.

Ars Technica ජර්නලය සඳහන් කරන පරිදි මෙම අභ්‍යවකාශ වස්තුව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඉවත් කරන ලද කොටසක් වීමේ වැඩි සම්භාවිතාවක් පවතිනවා. ඔවුන් පෙන්වා දෙන්නේ එදින නැඟෙනහිර වේලාවෙන් පස්වරු 02.29ට ගල්ෆ් මෙක්සිකෝ කලාපයට ඉහළින් වායුගෝලයට ඇතුළු වූ අභ්‍යවකාශ සුන්බුන් කොටසක් නිරිතදිග ෆ්ලොරිඩාව දෙසට ඇදී යනු US space command විසින් සටහන් කරගෙන ඇති බවයි. Oteroගේ නිවෙසේ කැමරාවේ සටහන් වී ඇති ඝට්ටනයේ ශබ්දය නැඟෙන්නේ එම නිරීක්ෂණය සිදු වී විනාඩි පහකට පසු වයි.

NASA මාධ්‍ය ප්‍රකාශක Josh Finch සඳහන් කර ඇති පරිදි නිවැසියන්ගේ ද සහාය ඇති ව එම වස්තුව NASA භාරයට ගෙන ඇති අතර එහි සම්භවය නිසැක වශයෙන් තහවුරු කර ගැනීම සඳහා මේ වන විටත් පරීක්ෂාවන් සිදු වෙමින් පවතිනවා. කෙසේ නමුත් ඇතැම් අභ්‍යවකාශ විශේෂඥයන් පවසන්නේ එම වස්තුව නියත වශයෙන් ම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අයත් ව තිබූ බවයි.

විද්‍යුත් කෝෂ යාවත්කාලීන කිරීමක් සඳහා භාවිත කළ ටොන් 2.9ක් බරැති කලාලයක් ජෙටිසන් ක්‍රමය ආධාරයෙන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඈතට විසි කර හරිනු ලැබුවේ 2021 මාර්තු මාසයේ දී යි. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඉවත් කළ විශාලතම කොටස බවට පැවසුණු එය පසුගිය මාර්තු 7ත් 9ත් අතර කාලයේ වායුගෝලයට පාලිත නො වන ඇතුළු වීමක් සිදු කිරීමට නියමිත ව තිබුණා. එකල හාවඩ්-ස්මිත්සෝනියන් තාරකා විද්‍යාඥ Jonathan McDowell සඳහන් කර තිබුණේ වායුගෝලයේ දී එය මුළුමනින් දැවී නො යනු ඇති බවයි.

The Guardian සහ Daily Mail ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications