සඳ මත දී වේලාව පවසන්නේ කෙසේ දැ යි ප්‍රමිතියක් ඇති කිරීමට ධවල මන්දිරයට අවශ්‍ය වී ඇතැ යි The Guardian වාර්තා කරනවා. ඉකුත් අඟහරුවාදා US Office of Science and Technology Policy (OSTP) විසින් NASA ආයතනය වෙත යවන ලද අභ්‍යන්තර ලියැවිල්ලකින් ඉල්ලා සිටින්නේ ඇමරිකාවේ පවතින අනෙකුත් නියෝජිතායතන සහ ජාත්‍යන්තර නියෝජිතායතන සමඟ සහයෝගීත්වයෙන් චන්ද්‍රයා කේන්ද්‍ර කරගත් කාල ගණන ක්‍රමවේදයක් ස්ථාපිත කරන ලෙසයි. NASA ආයතනයට, Coordinated Lunar Time (LTC) ලෙස හැඳින්වෙන මෙම චන්ද්‍ර වේලාව පිළිබඳ කටයුතු කිරීමට 2026 තෙක් කල් ලබා දී තිබෙනවා.
මෙය පෘථිවියේ භාවිතයට ගැනෙන වේලා කලාපවලට වඩා වෙනස් වන්නේ සඳට ම අනන්‍ය වූ පරිදි වේලාව ප්‍රකාශ කළ හැකි කාල රාමුවක් යොදා ගැනෙන බැවිනුයි. සඳෙහි ගුරුත්වය පෘථිවියේ ගුරුත්වයට වඩා සැලකිය යුතු මට්ටමකින් අඩු බැවින් එහි කාලය ගත වන්නේ සාපේක්ෂ ව වැඩි වේගයකිනුයි.
LTC හඳුන්වා දීමත් සමඟ චන්ද්‍රයා වෙත යැවෙන යානාවලට මෙන් ම එය වටා කක්ෂගත චන්ද්‍රිකාවලට ද මින් පෙර නො වූ තරම් සූක්ෂ්ම ලෙස කටයුතු කිරීමට හැකි වනු ඇති බව බලාපොරොත්තු වනවා. OSTP නිලධාරියෙකු රෙයිටර් පුවත් සේවයට අදහස් දක්වා ඇති පරිදි චන්ද්‍රයා මත වේලාව ගණනය කිරීමේ ඒකීය ප්‍රමිතියක් ඇති කර නො ගන්නේ නම් එහි යැවෙන යානා අතර සන්නිවේදනය මෙන් ම නුදුරේ එහි පිහිටුවීමට බලාපොරොත්තු වන චන්ද්‍ර නැවතුම්පොළ හා පෘථිවිය අතර ද සම්බන්ධතාවය පවත්වා ගැනීම අභියෝගාත්මක වනු ඇති බවයි. “මඳක් සිතා බලන්න ලෝකයේ ඔරලෝසු එකම ක්‍රමයකට අනුගත වෙලා නොතිබුණොත් එදිනෙදා ජීවිතය කෙතරම් අභියෝගාත්මක වේ වි ද කියලා.” ඔහු සඳහන් කරනවා.
පෘථිවිය මත ඔරලෝසු ක්‍රියාත්මක වන්නේත්, වේලා කලාප ස්ථාපනය වී ඇත්තේත් Universal Coordinated Time (UTC) හෙවත් විශ්වීය සමකක්ෂීය වේලාව නම් වූ ප්‍රමිතියට අනුගත වයි. එය රඳා පවතින්නේ ලෝකය ම ආවරණය වන පරිදි විවිධ ස්ථානවල පිහිටුවා ඇති පරමාණුක ඔරලෝසු ජාලයක් මතයි.
LTC ගොඩනැඟීම සඳහා චන්ද්‍රයා මත ද පරමාණුක ඔරලෝසු තැන්පත් කිරීම අත්‍යවශ්‍ය වනවා.
“සඳ මත දී පරමාණුක ඔරලෝසුවක් වැඩ කරනු ඇත්තේ එවැන්නක් පෘථිවිය මත දී වැඩකරනවාට වඩා වෙනස් වේගයකින්.” NASAහි ඉහළ පෙළේ සන්නිවේදන සහ යාත්‍රණ නිලධාරියෙකු වන Kevin Coggins සඳහන් කරනවා.
LTC කෙසේ විය යුතු ද යන්න අර්ථකථනය කර ගැනීම සඳහා ජාත්‍යන්තර වශයෙන් එකඟත්වයකට පැමිණීම අත්‍යවශ්‍ය බව OSTP මඟින් NASA වෙත එවන ලද අභ්‍යන්තර ලියැවිල්ලෙහි දැක්වෙනවා. දැනට පවතින ප්‍රමිති සංස්ථා මෙන් ම Artemis Accords වෙත අත්සන් තැබූ රටවල් 36 ද මේ සඳහා ඇතුළත් කරගත හැකි බව දැක්වෙනවා. අභ්‍යවකාශ තරණයේ දී ඇමරිකාවේ තරගකරුවන් වන චීනය සහ රුසියාව Artemis Accords වෙත අත්සන් තබා නොමැති බව ද සිහිකට යුතුයි.
The Guardian ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්