Home Science News අපට නො පෙනෙන පූර්ණ සූර්ය ග්‍රහණය අද

අපට නො පෙනෙන පූර්ණ සූර්ය ග්‍රහණය අද

by Sathya

අපට දැක ගැනීමට වරම් නැතත්, මෙක්සිකෝවේ, ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ ඇතැම් ප්‍රදේශවලට දිස් වන පූර්ණ සූර්යග්‍රහණය අද සිදු වීමට නියමිත ව තිබෙනවා. චන්ද්‍රයාගේ සෙවණැල්ල පතිත වන මාර්ගය තුළ වෙසෙන මිලියන 32ක් වූ ඇමරිකානු ජනතාවට හිරු පූර්ණ වශයෙන් වැසී යන මනස්කාන්ත දර්ශනය දැක ගැනීමේ විරල අවස්ථාව හිමි වනවා. එසේ ම ඇමරිකාවේ ජනගහනයෙන් 99%කට ම සූර්ය ග්‍රහණයේ අර්ධ අවස්ථාව දැක බලා ගැනීමේ හැකියාව ලැබෙනවා.

මෙක්සිකෝවේ පැසිෆික් වෙරළ තීරයට සූර්ය ග්‍රහණයේ පූර්ණ සෙවණැල්ල මුලින් ම පතිත වීමට නියමිත ව තිබෙනවා. ශ්‍රී ලංකාවේ වේලාවෙන් නම් එය සිදු වනු ඇත්තේ අද රාත්‍රී 11.37 ටයි.

නව ගණනය කිරීම් මඟින් හෙළි වී ඇති පරිදි ග්‍රහණයේ පූර්ණත්වය උදා වන ඡායාවේ ගමන් මාර්ගය NASA ආයතනය ගණනට කර ඇතිවාට වඩා පටු ස්වභාවයක් ඉසිලීමේ හැකියාව පවතිනවා. එහි අදහස වන්නේ ඇතැම් විට පූර්ණ සෙවණැල්ල පතිත වන මාර්ගයේ දෙපස ඇති, පෙර අන්ධකාරයෙන් වැසී යනු ඇතැ යි ගණනය කළ ඇතැම් නගරවලට පූර්ණත්වය අත් විඳිය නො හැකි වීමට ඉඩ ඇති බවයි. පූර්ණත්වය නියත වශයෙන් අත් විඳීමට නම් පූර්ණත්වයේ ගමන්පථයේ මැදට වන්නට ඇති ප්‍රදේශයකට පැමිණීම නුවණට හුරු බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ.

අවසන් වරට ඇමරිකා එක්සත් ජනපදයේ සිට නැරඹිය හැකි වූ පූර්ණ සූර්යග්‍රහණය සිදු වූයේ 2017 වසරේ යි. යළි එවැන්නක් එරටට දිස් වන්නේ තවත් දශක දෙකක කාලයකින් පසු 2044 වසරේ යි. මෙනිසා ම අද දිනයේ එරට පාසල් බොහෝමයක නිවාඩු ලබා දී තිබෙනවා. මේ විරල අවස්ථාව දැක බලා ගැනීමේ අටියෙන් පැමිණෙන සංචාරකයන් හේතුවෙන් පූර්ණත්වයේ පථය ඇතුළත පිහිටි සියලු ම කෙටි කාලීන නවාතැන් පහසුකම් සපයන හෝටල් කාමර සහ තැබෑරුම් වෙන් වී අවසන් තිබෙන බව CNN වාර්තා කරනවා. ඇමරිකාවේ ටෙක්සාස්, ඔක්ලහෝමා, ආකන්සාස්, මිසුරි, ඉලිනොයිස්, කෙන්ටකි, ඉන්දියානා, ඔහායෝ, පෙන්සිල්වේනියා, නිව්යෝක්, වර්මොන්ට්, නිව් හෙමිස්ෆියර් සහ මේන් යන ප්‍රාන්ත පිහිටා තිබෙන්නේ සූර්ය ග්‍රහණයේ පූර්ණ සෙවණැල්ල ගමන් කරන පථය තුළයි. ගණනය කර ඇති පරිදි ම සියල්ල සිදු වුවහොත් මේ ප්‍රාන්ත 13ට අමතර ව මිචිගන් හා ටෙනිසි ප්‍රාන්තවල ද ඇතැම් කොටස් පූර්ණත්වයේ අන්ධකාරයෙන් වැසී යනු ඇති.

මෙවැනි පූර්ණ සූර්ය ග්‍රහණයක් ශ්‍රී ලාංකික ජනතාවට දැකගත හැකි වන්නේ තවත් වසර 46යි දින 2ක කාලයකින්. එනම් 2070 අප්‍රේල් 11 වැනි දා යි.

CNN සහ TimeAndDate ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications