යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සිය (ESA) හා ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (JAXA) විසින් මෙහෙයවනු ලබන BepiColombo යානය 2021 අගෝස්තු 10 දා සිකුරු ග්‍රහයාට අතිශය සමීප දුරකින් ගමන් කළා. ඉන් රැස් කරගත් තොරතුරු මඟින් සිකුරුගේ වායුගෝලය විනිවිදිමින් එහි ඇති වායූන් පිටතට පැමිණෙන්නේ කෙසේ ද යන්න පිළිබඳ වැදගත් තොරතුරු සමුදායක් රැස් කරගැනීමට එය අවස්ථාව සැලසී තිබෙනවා.
යානය ගමන් කළ, මින් පෙර වැඩි අවධානයකට ලක් ව නො තිබූ සිකුරුගේ මෙම කලාපය තුළ ඇති චුම්භකිත පරිසරය මඟින් ඔක්සිජන් සහ කාබන් අධික ත්වරණයට ලක් කරන බව සොයා ගැනුණා. එම ත්වරණය කෙතරම් දැ යි කිවහොත්, එය ග්‍රහයාගේ ගුරුත්ව බලය ද පරයා යනවා.
අධ්‍යයනයේ ප්‍රධාන කතුවරිය වන CNRSහි ප්ලාස්ම භෞතිකවිද්‍යා පර්යේෂණාගාරයේ විද්‍යාඥ Lina Hadid සඳහන් කරන්නේ සිකුරුගේ වායුගෝලය තුළින් ධන ආරෝපිත කාබන් අයන නික්මෙනු නිරීක්ෂණය කළ ප්‍රථම අවස්ථාව මෙය බවයි. “මේවා සාමාන්‍ය වශයෙන් ගත් විට සෙමෙන් චලනය වන, බරැති අයන වන අතර අප තවමත් සිටින්නේ මෙහි දී සිදු වන ක්‍රියාවලිය වටහා ගැනීමේ අදියරේයි. ඇතැම් විට එයට හේතු කාරකය වායුගෝලය තුළින් හමන විද්‍යුත් ස්ථිතික ‘සුළඟකින්’ ඒවා ඔසවනු ලැබීම හෝ කේන්ද්‍රාපසාරී ක්‍රියාවලියක් හේතුවෙන් ත්වරණයට ලක් වීම හෝ වෙන්න පුළුවන්.” ඇය පෙන්වා දෙනවා.
පෘථිවිය මෙන් නොව, සිකුරු ග්‍රහයාගේ හරය චුම්භක ක්ෂේත්‍රයකට මඟ පාදන්නේ නැහැ. එසේ වුවත්, සිකුරුගේ ඉහළ වායුගෝලයේ ඇති විද්‍යුත් ආරෝපිත අංශු සමඟ සූර්යයා (සූර්ය සුළඟ) මගින් විමෝචනය වන ආරෝපිත අංශු අන්තර්ක්‍රියා කිරීමෙන් ග්‍රහලෝකය වටා දුර්වල, වල්ගා තරුවක් හැඩැති ‘ප්‍රේරිත චුම්භක ගෝලයක්’ නිර්මාණය වනවා. මෙම චුම්භක ගෝලය වටා ඇති කලාපය හැඳින්වෙන්නේ magnetosheath ලෙසයි. සූර්යයාගේ සිට හමන සූර්ය සුළඟ මන්දනය වන්නේත්, රත් වීමට පටන් ගන්නේත් මේ කලාපය තුළ දී යි.
“මෙම බර අයන පිට වන්නේ මන් දැ යි වටහා ගැනීම සහ එම ක්‍රියාවලිය තේරුම් ගැනීම සිකුරුගේ වායුගෝලය කාලයත් සමග වත්මන් තත්ත්වයට පැමිණ ඇත්තේ කෙසේ ද යන්න හා එය සතුව තිබූ ජලය සියල්ල අහිමි වූයේ කෙසේ ද යන්න සොයා යන ගමනේ මඟහැරිය නො හැකි සංධිස්ථානයන් වනවා.” ප්ලාස්ම භෞතිකවිද්‍යා පර්යේෂණාගාරයේ පර්යේෂක මෙන් ම නිරීක්ෂණය සිදු කළ BepiColombo යානයේ Mass Spectrum Analyzer (MSA) උපාංගයේ හසුරුවන්නා ද වන Dominique Delcourt සඳහන් කරනවා.
Phys.org ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්