NASA ආයතනයට අයත්, හූස්ටන්හි, ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තනා ඇති අඟහරු ග්‍රහයාට සමාන පරිසරයේ දින 45ක් හුදකලා වීමට කැමැති සිව් දෙනෙකුගෙන් යුතු කණ්ඩායම් සඳහා අයදුම් භාර ගන්නා බව නිවේදනය කෙරුණේ අදට මාස කිහිපයකට පෙරාතුවයි. Human Exploration Research Analog (HERA) ලෙස හැඳින්වෙන මෙම ව්‍යාපෘතිය යටතේ මේ වසර සඳහා මෙහෙයුම් හතරක් නියම වී තිබෙනවා. ඒ අතරින් පළමු වැන්න පසුගිය මාර්තු 18 වැනි දා අවසානය දුටුවා.
මේ අතරින් දෙ වැනි HERA මෙහෙයුම සඳහා ඉදිරිපත් වූ අයදුම්පත් අතුරෙන් ඒ සඳහා සුදුසු ම පුද්ගලයන් සිව් දෙනා තොරා ගැනීමට NASA ආයතනය කටයුතු කර තිබුණා. පෙරේදා (15) ඔවුන් කවුරුන් ද යන වග නිල වශයෙන් නිවේදනය කෙරුණා.
NASA වෙබ් අඩවියේ පළ කර ඇති පරිදි මේ සඳහා, ජේසන් ලී (Jason Lee), ස්ටෙෆනි නවාරෝ (Stephenie Navarro), ශාරීෆ් අල් රොමායිති (Shareef Al Romaithi) මෙන් ම ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පියුමි විජේසේකර (Piyumi Wijesekara) සුදුසුකම් ලබා තිබෙනවා.
HERA වැඩසටහන මඟින් අධ්‍යයනය කෙරෙන්නේ හුදකලාව සමඟ ගැටෙමින් පෘථිවියෙන් දුරස්ථ ව කටයුතු කිරීමට මිනිසා හැඩගැසෙන්නේ කෙසේ ද යන්නයි. සඳ, අඟහරු සහ වෙනත් අකාශ වස්තූන් වෙතට දියත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අනාගත මෙහෙයුම් සඳහා මෙමඟින් ලබා ගැනෙන අත්දැකීම් ඉවහල් වනවා.
මීළඟ HERA කණ්ඩායම ලබන මැයි 10 වැනි දා අඟහරුට සමාන කෘත්‍රිම සමාකරණ පරිසරයට පිවිසෙන අතර දින 45ක කාලයක් එහි ගත කරමින් විද්‍යාත්මක පර්යේෂණවල මෙන් ම වෙනත් විශේෂිත මෙහෙයුම්වල ද නිරත වීමට නියමිතයි. ඒ අතර අතථ්‍ය යථාර්ථය උපයෝගී කරගනිමින් විවෘත අඟහරු පරිසරය මත සක්මනක යෙදීම ද වනවා. පෘථිවිය සහ අඟහරු අතර සන්නිවේදනය කිරීමේ දී මුහුණ දීමට සිදු වල විනාඩි පහක පමාවට ද මෙහි දී HERA කණ්ඩායමට මහුණ දීමට සිදු වනවා. එනම්, මෙහෙයුම් පාලන මධ්‍යස්ථානය සහ ඔවුන් අතර සිදු වන සියලු සන්නිවේදන සහ සම්ප්‍රේශන කටයුතු සිදු වනු ඇත්තේ විනාඩි පහක පරතරයක් සහිත වයි.
HERA ව්‍යාපෘතියට අයත් දෙවැනි කණ්ඩායමේ සාමාජිකාවක වීමට වරම් ලබා ඇති පියුමි විජේසේකර, NASA ආයතනයට ම අයත්, සිලිකන් නිම්නයේ පිහිටා ඇති Ames Research Center හි විකිරණ ජෛවභෞතික විද්‍යා පර්යේෂණාගාරයේ පර්යේෂණ විද්‍යාඥවරියක ලෙස කටයුතු කරනවා.
NASA නිල වෙබ් අඩවිය ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්