ඉන්දියාවේ බටහිර ප්‍රදේශයේ පිහිටි ආකරයක සිදු කළ කැනීමකින් ලොව විසූ විශාලතම සර්පයකුට අයත් ෆොසිලගත කොඳු ඇට පෙළක් නිරාවරණය කර ගැනීමට ඉන්දීය පාෂාණධාතුවේදීන් සමත් ව සිටිනවා. මීටර 15ක එනම්, T-rex ඩයිනෝසෝරයෙකුටත් වඩා දිගින් යුතු වන්නට ඇති බවට උපකල්පනය කෙරෙන මෙම සර්පයා Vasuki indicus (වාසුකී ඉන්ඩිකස්) ලෙස නම් කර තිබෙනවා. ඒ හින්දු පුරාණෝක්තිවල එන ශිවගේ සහාය පිණිස කටයුතු කරන වාසුකී නම් නාග රාජයා සිහි වනු පිණිසයි.
මෙහි දී සර්පයාට අයත් කශේරු 27ක් නිරාවරණය කර ගැනීමට විද්‍යාඥයන් සමත් ව තිබෙනවා. ඒ අතරින් කිහිපයක් ම උරගයා ජීවතුන් අතර සිටිය දී තිබිය යුතු වූ අයුරින් ම ස්ථාන ගත වී සුරැකි ව පැවතී තිබෙනවා. විද්‍යාඥයන් සඳහන් කරන්නේ වාසුකී පෙනුමෙන් දැවැන්ත පිඹුරෙකුට සමාන පෙනුමකින් යුතු වූ විෂ දළ රහිත සර්පයෙකු වන්නට ඇති බවයි.
ෆොසිලගත කශේරු සොයාගෙන ඇත්තේ බටහිර ඉන්දියාවේ, ගුජරාටයේ, පානන්ද්‍රෝහි පිහිටි ලිග්නයිට ආකරයක සිදු කළ කැණීමක දී යි.
ෆොසිලයේ ඇති අසම්පූර්ණ බව නිසා වාසුකීගේ දිග තිතට ම පැවසීම අපහසු වුවත් පාෂාණධාතු විද්‍යාඥයන් එය මීටර 11ත් 15ත් අතර අගයක තබනවා. ඔවුන්ගේ ඇස්තමේන්තුව අනුව මේ දැවැන්තයාගේ සමස්ත බර ටොන් 1ක් පමණ වන්නට ඉඩ තිබෙනවා. අදින් වසර මිලියන 90ක අතීතයේ සිට අදින් වසර 12,000කට ආසන්න කාලය දක්වා Vasuki indicus විශේෂයේ උරගයන් ජීවත් වන්නට ඇති බව විශ්වාස කෙරෙනවා. අදින් වසර මිලියන 50කට ඉහත අතීතයේ ඉන්දියානු උප මහාද්වීපය යුරේසියාව සමග හා වීමෙන් පසු ඉන්දියාවේ සිට මේ උරගයන් යුරේසියාව දක්වාත්, උතුරු අප්‍රිකාව දක්වාත් පැතිර යන්නට ඇති බව විශ්වාස කෙරෙනවා.
වාසුකී මෙතෙක් කලකට හමු වූ දැවැන්ත ම සර්පයා බවට ස්ථිරසාර ව පැවසීමට තරම් සාධක දැනට නැතත් 2009 දී කාම්බෝජයෙන් නිරාවරණය කරගත් මීටර 13කින් දිගු, එමෙන් ම ලොව විසූ දැවැන්ත ම සර්පයා ලෙස නම් දිනා ඇති Titanoboa cerrejonensis සමඟ තරගයකට පිවිස තිබෙනවා. ඒ ටයිටැනබෝවාගේ දිග මීටර 13ක් වීම සහ වාසුකී මීටර 11ත් 15ත් අතර ප්‍රමාණයකට ඇස්තමේන්තු කර තිබීම මතයි.
The Guardian ඇසුරෙනි.
සත්‍ය හෙට්ටිආරච්චි