පෘථිවියේ සිට වැඩි ම දුරකින් ඇති Voyager 1 යානය නැවත වතාවක් තේරුම් ගත හැකි අර්ථයෙන් යුතු ලෙස සන්නිවේදනයේ යෙදීම අරඹා තිබෙනවා. වසර 46ක් පැරැණි මේ යානය විකාර රූපී අර්ථ විරහිත දත්ත සම්ප්‍රේෂණය කිරීම පටන්ගත්තේ ඉකුත් නොවැම්බර් මාසයේ දී යි. එතැන් පටන් NASA ඉංජිනේරුවන් එය යථා තත්ත්වයට ගෙන ඒම සඳහා මාස ගණනක් යත්න දැරුවා.
NASA ජෙට් ප්රචාලන විද්‍යාගාරය (JPL) ඉකුත් දා නිවේදනය කළේ වොයේජර් මෙහෙයුම් කණ්ඩායමේ “නව විශ්ලේෂණාත්මක හඹායාමකින්” පසු දෝෂය හඳුනා ගෙන යානයේ තත්ත්වය පිළිබඳ අරුත්බර දත්ත ලබා ගැනීමට හැකි වූ බවයි. “මීළඟ පියවර වන්නේ යානය නැවතත් විද්‍යාත්මක දත්ත එවිය හැකි තත්ත්වයට පත් කිරීමයි.” JPL නිවේදනය කළා.
1977 වසරේ අභ්‍යවකාශ ගත කළ වොයේජර් 1හි මුඛ්‍ය පරමාර්ථය වූයේ බ්‍රහස්පති සහ සෙනසරු සමීප ව අධ්‍යයනය කරමින් වසර පහක කාලයක් ක්‍රියාකාරී ව කටයුතු කරීමයි. නමුත් ඉන් අඩ සියවසක කාලයකට ආසන්න අද දිනය දක්වාත් එය සක්‍රීය ව පවතිනවා. වොයේජර් 1 සෞරග්‍රහ මණ්ඩලයේ ඉම පසු කරමින් අන්තර්තාරීය අවකාශයට පිවිසුණේ 2012 අගෝස්තු මාසයේ දීයි. මේ වන විටත් එය පැයට කිලෝමීටර 60,821 වේගයෙන් අපෙන් ඈතට ඇදී යමින් පවතිනවා.
ඉහත සඳහන් කළ අර්ථ විරහිත දත්ත සම්ප්‍රේෂණයට හේතු කාරක වී තිබුණේ යානය සතු පරිගණක තුනකින් යුතු පද්ධතියයි. පෘථිවිය වෙත එවීමට පෙර යානය රැස් කරගන්නා විද්යොත්මක හා ඉංජිනේරුමය දත්ත සැකසුම් ගත කිරීම සිදු වූයේ එයින්. දෝෂ සහගත චිපය යළි යථා තත්ත්වයට පත් කළ නො හැකි වූයෙන් NASA ඉංජිනේරුවන් යත්න දරා තිබුණේ හානි වී තිබූ කේතය පරිගණකයේ වෙනත් තැනකට රැගෙන යාමටයි. යානය සතු ව පැවතියේ දශක හතරකට වඩා පැරැණි තාක්ෂණයක් වූ බැවින් එය එතරම් පහසු කටයුත්තක් ව තිබුණේ නැහැ.
වොයේජර් 1 සහ 2 යානා ද්විත්වයේ ම මතක ධාරිතාව එකතු කර දැක්වුව ද එය කිලෝබයිට 70කට වඩා අඩු බව සඳහන්. දත්ත ගබඩා කර තබා ගැනීම සඳහා ඒවා යොදා ගන්නේ අංකිත පටියක් (digital tape). දෝෂ නිරාකරණ කේතය පසුගිය අප්‍රේල් 18 වැනි දා උඩුගත කෙරුණු අතර එය පෘථිවියේ සිට වොයේජර් වෙත ළඟා වීමට පැය 22 කුත් විනාඩි 30ක කාලයක් ගත වුණා. වොයේජර් 1 හි සිට එන ප්‍රතිචාරය මෙහි ළඟා වීමට තවත් එවැනි ම කාලයක් වැය වුණා. ඒ අනුව අප්‍රේල් 20 වැනි දා යානයේ ප්‍රතිචාරය ලැබුණු පසු සිය දෝෂ නිරාකරණ මෙහෙයුම සාර්ථක වී ඇති බව JPL ඉංජිනේරුවන් සහතික කර ගත්තා.
The Guardian ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්