Home Science News අඟහරු මත ‘මකුළු ලකුණු’

අඟහරු මත ‘මකුළු ලකුණු’

by Sathya

බැලූ බැල්මට අඟහරු භූමිය මත සැරිසරන මකුළු රෑනක් සේ දිස්වන අඳුරු පැහැති ලප වැනි භූ ලක්ෂණ පෙන්නුම් කරන ඡායාරූපයක් කැමරාවට හසු කරගන්නය යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සියේ Mars Express orbiter සහ ExoMars Trace Gas Orbiter කක්ෂගත යානා සමත් වී තිබෙනවා. ඒ අඟහරුගේ දක්ෂිණ අර්ධගෝලයේ පිහිටා ඇති Inca City ලෙස නම් කර ඇති ප්‍රදේශය ආශ්‍රිත වයි.

කෙසේ නමුත් ESA පවසන්නේ මකුළුවන්ට බිය අය මේ ගැන බිය ඇති කරගත යුතු නො වන බවයි. මකුළු රංචුවක් මෙන් පෙනුණත් සැබැවින් ම එය මීටර 45 සිට කිලෝමීටරයක් දක්වා දිගු විය හැකි වායු නාලිකා බවයි.

දකුණු අර්ධගෝලයේ දේශගුණය උණුසුම් වන විට එහි පස යට ඇති කාබන් ඩයෝක්සයිඩ් මිදීමෙන් සෑදුණු අයිස් තට්ටුව දිය වීම ඇරඹෙන අතර ඇතැම් අවස්ථාවල දී කාබන් ඩයොක්සයිඩ් යළි වායුමය තත්ත්වයට පත් වනවා.

වායුව ප්‍රසාරණය වීමත් සමඟ ඉහළින් ඇති අයිස් ස්තර බිඳී යන අතර ඒවා සතු අඳු⁣රු පැහැති දුහුවිලි තට්ටු ඉහළට මතු වනවා. මකුළුවන්ගේ් ස්වරූපයෙන් යුතු ලකුණු ඇති කරන්නේ මෙලෙස ඉහළට පැමිණෙන අයිස් තට්ටුවලට ඉහළින් ඇලී තිබෙන දුහුවිලි තට්ටුවයි. එවැනි එක් ‘මකුළුවෙක්’ මීටරයක පමණ විශාලත්වයකින් යුතු වක බව යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සිය සඳහන් කරනවා.

පැරණි පුරාවිද්‍යාත්මක ස්ථානයක ස්වරූපය සිහිගනවන, Inca City ලෙස හැඳින්වෙන ප්‍රදේශය Angustus Labyrinthus ලෙස ද හඳුන්වනු ලබනවා. 2002 වසරේ දී Mars Orbiter යානය මඟින් රැස් කරගත් තොරතුරු මත, එය දළ වශයෙන් කිලෝමීටර 86ක විෂ්කම්භයකින් යුතු වෘත්තාකාර ව්‍යුහයක කොටසක් බව අනාවරණය කරගනු ලැබුණේ ග්‍රහක ඝට්ටනයක් සිදු වන්නට ඇතැ යි යන උපකල්පනය සහිත වයි. ඉන්කා සිටි ප්‍රදේශය පුරා ජ්‍යාමිතික හැඩතල ඔස්සේ විහිදී ඇති හෙල් වැටි මේ ගැටුම හේතුවෙන් සිදු වූ මැග්මා බලාත්ප්‍රවේශයක ප්‍රතිඵලයක් විය හැකි බව උපකල්පනය කෙරෙනවා.

Live Science ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

 

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications