මුහුණත් 12කින් සමන්විත, සෑම මුහුණතක ම පාහේ වෘත්තාකාර සිදුරක් සහිත රෝමානු යුගයට අයත් මේ අයිතම මෑත කාලීන පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් අතර ඇති එනිග්මාවක් සේ සැලකෙනවා. ඒ එවැනි වස්තූන් යොදා ගත්තේ කුමක් සඳහා දැයි මෙතෙක් සොයාගත නො හැකි වීම හේතුවෙන්.
මහා බ්‍රිතාන්‍යයෙන් මෙවැනි ද්වදශාතල (dodecahedron – මුහුණත් දොළහක් සහිත ඝන වස්තුව) 33ක් හමු වී ඇති අතර වසර 1700ක් පැරැණි පුරාවිද්‍යාත්මක ස්ථානයක සිදු කරන ලද කැණීමකින් සොයා ගනු ලැබූ නවතම ද්වදශාතලය ලින්කන්හි පැවැත්වෙන පුරාවිද්‍යාත්මක ප්‍රදර්ශනයක දී මහජන ප්‍රදර්ශනය සඳහා තැන්පත් වීමට නියමිත ව තිබෙනවා.
2023 වසරේ එම පුරාවස්තුව සොයා ගැනුණේ ද එක්සත් රාජධානියේ, ලින්කන් ආසන්නයේ ඇති නෝටන් ඩිස්නි ප්‍රදේශයේ සිදු කරන ලද පුරාවිද්‍යාත්මක කැණීමක් අතරතුරයි. සෙන්ටිමීටර 8ක උසකින් හා ග්‍රෑම් 254ක බරකින් යුතු එය මෙතෙක් සොයා ගත් එයාකාර පුරාවස්තූන් අතර ඇති විශාල ම වස්තුවයි. එම කැණීම සාපේක්ෂ ව වැදගත් වන්නේ වසර 1700කට පෙර එම වස්තුව තැන්පත් කළ අයුරෙන් ම මේ දක්වා සුරක්ෂිත ව පැවතීම නිසයි. එම නිසා අදාළ පුරාවිද්‍යාත්මක භූමිය මතින් එම වස්තුවේ භාවිතය ගැන යම් හෝඩුවාවක් සොයාගත හැකි වනු ඇතැ යි අපේක්ෂා කළ හැකියි.
එසේ නමුත් කැණීම සිදු කළ Norton Disney History and Archaeology Group හි ලේකම් රිචඩ් පාකර් සඳහන් කරන්නේ පුරාවිද්‍යාඥයන් හා ඉතිහාසඥයන් අතින් දැඩි පරිශ්‍රමයක් දරා සිදු වෙමින් පවතින පර්යේෂණ අබිමුව වුව ද මේ ද්වදශාතලවල කාර්යභාරය ගැන පිළිතුරක් පෙනෙන තෙක් මානයක නොමැති බවයි. එය වඩාත් අපහසු කටයුත්තක් වී තිබෙන්නේ අවම තරමින් රෝමානු සාහිත්‍යය තුළ වත් මේ ගැන යම් පැහැදිලි කිරීමක් සඳහන් ව නැති බව ඉතිහාසඥයන් පෙන්වා දෙනවා.
“රෝමානුවන් මේවා යොදාගන්නට ඇත්තේ කුමක් සඳහා ද යන්න පිළිබඳ සිත මෙහෙයවීමේ දී පරිකල්පනය ඉගිල යනවා. ඉන්ද්‍රජාල, යාගහෝම හෝ ආගමික භාවිතයන්ගේ සිට ඕනෑ ම දෙයක් – ඇතැම් විට අපි කවදාක වත් දැනගන්න එකක් නෑ.” රිචඩ් පාකර් සඳහන් කරනවා.
The Guardian ඇසුරෙනි.
සත්‍ය හෙට්ටිආරච්චි