ඇතැම් නරි විශේෂවලට හිස පෙරමුණේ තබාගෙන ම කිසිඳු ආන්තරාවකින් තොර ව හිම තට්ටු යට කිමිදීමේ හැකියාව තිබෙනවා. නවතම අධ්‍යයනයකින් අනාවරණ කරගෙන ඇත්තේ මේ විස්මිත හැකියාව ලබා දීම සඳහා ඔවුන්ගේ හිස්කබල හැඩගැසී ඇති බවයි.
සීත දේශගුණය සහිත පරිසර තත්ත්වයන්ගේ වෙසෙන රතු නරියා (Vulpes vulpes) සහ ආක්ටික් නරියා (Vulpes lagopus) හිම තට්ටු යට සැඟවී සිටින මී කුලයේ ගොදුරු දඩයම් කිරීම සඳහා ‘මවුසිං’ යනුවෙන් හැඳින්වෙන විශේෂිත වූ දඩයම් ක්‍රමයක් අනුගමනය කරනවා. උන් සිය තියුණු ශ්‍රවණ හැකියාවෙන් උපරිම ප්‍රයෝජනය ගනිමින් හිම යට සිටින ගොදුරේ පිහිටුම නිවැරැදි ලෙස අනුමාන කරගන්නවා. අනතුරු ව උඩ පනින නරියා තත්පරයට මීටර 4ක පමණ වේගයකින් සිය හිස පහළට සිටින සේ හිම මතට කඩා වැද, එහි කිමිදී ගොදුර ග්‍රහණය කරගන්නවා.
“ඒක බොහොම රසවත් වගේ ම සුවිශේෂ වූ හැසිරීමක්. ඒක හැම නරි විශේෂයට මත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.” නිව් යෝකයේ Cornell Universityහි Sunghwan Jung පවසනවා.
රතු නරියන් සහා ආක්ටික් නරියන්ගේ මේ විස්මිත හැකියාව ගැන අධ්‍යයනය කිරීම සඳහා Jung සහ පර්යේෂණ සගයන් නරි විශේෂ 13ක මෙන් ම තවත් ක්ෂීරපායී සත්ත්ව විශේෂ කිහිපයක හිස් ගබල් පරිලෝකනය කරමින් අධ්‍යයනයේ නිරත වුණා. ඔවුන්ගේ විශ්ලේෂණයෙන් පෙනීගියේ නිරීන්ට සාපේක්ෂ ව බිළාල විශේෂ සතු ව ඇති පළල් මෙන් ම කෙටි හොම්බ වඩාත් සවිමත් සපා කෑමක් සඳහා හැඩගැසී ඇති බවයි. තනි තනි ව දඩයමේ යෙදෙන්නන් වශයෙන් බළලුන්ට එවැනි හොම්බක් තිබීම වැදගත් වනවා.
නරීන් බොහෝ විට දඩයමේ යෙදෙන්නේ රංචු වශයෙන්. උන් සතු ව පවතින්නේ තරමක් දිගටි, උල් වූ හිස්කබලක්. එය තරමක් දුර්වල සැපුමකට මඟ පාදනවා. රතු නරියා සහ ආක්ටික් නරියාට ඇත්තේ අනෙකුත් නරි විශේෂවලට සාපේක්ෂ ව වඩාත් දිගටි වූ පටු හිස් කබලක් බව මෙහි දී ඔවුන්ට පෙනී ගියා. ඔවුන් එවැනි හිස් කබලක ත්‍රිමාන මුද්‍රිත මොඩලයක් හිමේ සෙන්ටිමීටර 50ක් දක්වා ගැඹුරට යවමින් අධ්‍යයනය කළ විට පෙනී ගියේ හිස් කබලේ ස්වභාවය මේ හැසිරීම් රටාව සඳහා උපකාර වන බවයි.
“අපට පෙනී ගියේ තියුණු හොම්බක් සහිත වීම සම්පීඩනය වන හිම ප්‍රමාණය අඩු කරමින් ඝට්ටනයේ කම්පනය අවම කරනවා.” ඉන් නරියාට අනතුරක් සිදු වීමට ඇති හැකියාව අවම කරනවා. දිගු, උල් වූ හොම්බ හිම පසෙකට තල්ලු කර හැර ගොදුර වෙත යන නරියාට මඟ පාදනවා. “මේ ආකාරයේ දිගු වූ හිස් කබල නරියාට සිය ගොදුර මත අවධානය තබාගෙන හිම මත සුරක්ෂිත ව කිමිදීමට උපකාර කරනවා.” Jung සඳහන් කරනවා.
New Scientist ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්