ඔරංඔටන් සතුන් සතු බුද්ධිමය ගති පැවතුම් කලක සිට ම සත්ත්ව විද්‍යාඥයන්ගේ අවධානය පැහැර ගන්නට සමත් ව තිබුණා. ආහාර සොයා ගැනීම සඳහා විවිධ අයිතම යොදා ගැනීම ඒ අතරින් කැපී පෙනුණා. නමුත් ඔරංඔටන්ලා සතු තවත් සුවිශේෂ හැකියාවක් නිරීක්ෂණය කිරීමට පර්යේෂකයන් පසුගිය දිනක සමත් වී තිබුණා. එනම් තුවාල මත ඖෂධීය ශාක පත්‍ර පොඩි කර ගැල්වීමයි.
පර්යේෂකයන් පවසන්නේ පිරිමි සුමාත්‍රානු ඔරංඔටන් ප්‍රයිමේටාවෙකු සිය මුහුණේ පැවති විවෘත තුවාලයක් මත සපා පොඩි කළ ශාක පත්‍ර ගල්වනු නිරීක්ෂණය කිරීමට හැකි වූ බවයි. මේ සඳහා ඔහු යොදාගත් ශාකයේ පත්‍ර සතු ව වේදනා නාශක ගුණයක් පවතින බව ද තහවුරු කරගෙන තිබෙනවා.
කෙසේ වෙතත් වන සතුන් ඖෂධ ගල්වාගන්නා බවට සිදු කෙරුණු පළමු වැනි නිරීක්ෂණය මෙය නො වෙයි. උදාහරණයක් වශයෙන් බොර්නියානු ඔරංඔටන් සතෙකු සිය දෑතෙහි හා පාදවල මෙලෙස ම පොඩි කරගත් ශාක පත්‍ර විශේෂයක් අතුල්ලා ගනු නිරීක්ෂණය කර තිබෙනවා. එසේ ම චිම්පන්සීන් පණු ආසාදනවලට ප්‍රතිකර්මයක් ලෙස හඳුනාගෙන ඇති ශාක කොටස් හැපීම සිදු කරන බවත්, තුවාල පිරිසිදු කරීම සඳහා කෘමි සතුන් යොදා ගන්නා බවත් මින් පෙර නිරීක්ෂණය කරනු ලැබ තිබුණා. එසේ නමුත් වන සතෙකු පැහැදිලි ලෙස ම පෙනෙන විවෘත තුවාලයකට, ඖෂධීය ගුණාංග පවතින බවට තහවුරු කරගත් ශාකයක පත්‍ර පොඩි කර ගැල්වීම නිරීක්ෂණය කළ ප්‍රථම අවස්ථාව මෙය බවයි පර්යේෂකයන් සඳහන් කරන්නේ.
“චින්පන්සීන් ගැන කළ නිරීක්ෂණය වෙත අවධානට යොමු කළොත්, ඒ කෘමි සතුන් නියත වශයෙන් ම තුවාල සුව කිරීමට දායක වනවා ද යන්න සොයාගෙන නැහැ. ඒත් අපේ නිරීක්ෂණයට පාදක වූ ඔරංඔටන් යොදා ගත් ශාකය ඖෂධීය ගුණාංග සහිත බව හඳුනාගෙන තිබෙනවා.” අධ්‍යයනයේ ජ්‍යෙෂ්ඨ කතුවර ජර්මනියේ සත්ත්ව හැසිරීම් රටා පිළිබඳ මැක්ස් ප්ලාන්ක් ආයතනයේ පර්යේෂකයෙකු ලෙස කටයුතු කරන ආචාර්ය Caroline Schuppli සඳහන් කරනවා.
මෙම අද්විතීය දසුන ඔවුන්ගේ නෙත ගැටී තිබුණේ ඉන්දුනීසියාවේ රක්ෂිත වැසි වනාන්තරයක් තුළ සිදු කළ පර්යේෂණ චාරිකාවනක් අතරතුරයි. එහි දී ඔවුන් ‘රාකුස්’ (Rakus) ලෙස හඳුන්වන පිරිමි සුමාත්‍රානු ඔරංඔටන්ගේ දිවිපෙවෙත ගැන අවධානය යොමු කර තිබුණා. මෙහි දී බොහෝ විට තවත් එම වර්ගයේ ම පිරිමි සතෙකු සමඟ ඇති කරගත් ගැටුමකින් ඇති වූවක් යැ යි අනුමාන කළ හැකි විවෘත තුවාලයක් රාකුස්ගේ ඇසට පහළින් දකුණු කම්මුල මත තිබෙනු ඔවුන්ට දැකගත හැකි වුණා. තවත් දවස් තුනක අවෑමෙන් රාකුස් අසල පිහිටි Fibraurea tinctoria ලෙස විද්‍යාත්මක ව හැඳින්වෙන ලියානා වැල් ශාකයක් වෙත ගොස් තිබුණා. මේ අනපේක්ෂිත ක්‍රියාව සිදු වී තිබුණේ එතැන දීයි.
“රාකුස් ලියානා වැලේ පත්‍ර ආහාරයට ගැනීම ඇරඹීමෙන් විනාඩි දහතුනකට පසු ව ඔහු ගිලින්නේ නැති ව පත්‍ර සැපීමට පමණක් කටයුතු කළා. අනතුරු ව ඇඟිලිවලින් ඒ තලපය පිටතට ගෙන කෙළින් ම මුහුණේ තිබූ තුවාලය මත තැවරුවා.” පර්යේෂකයන් පවසනවා.
The Guardian ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්