Home Science News වෙළෙඳපොළට එන ගිනි පිඹින රොබෝ බල්ලා – Thermonator

වෙළෙඳපොළට එන ගිනි පිඹින රොබෝ බල්ලා – Thermonator

by Sathya

ඇමරිකානු සමාගමක් වන Throwflame ඔවුන්ගේ නවතම නිෂ්පාදනය ලෙස ගින්දර පිට කරන ‘බල්ලෙකුගේ ස්වරූපයකින් යුතු රොබෝ යන්ත්‍රය’ වෙළෙඳපොළට හඳුන්වා දීමට සැරසෙනවා. ඔහායෝ ප්‍රාන්තයේ පිහිටා ඇති මේ සමාගම ගිනි පිට කරන flamethrower උපාංග නිෂ්පාදනය සඳහා නම දිනූ සමාගමක්.

Throwflame ​නිවේදනය කර ඇති පරිදි මේ රොබෝවා සතු flamethrower උපාංගය මඟින් අඩි 30ක දුරකට ගින්දර පිට කළ හැකියි. Thermonator ලෙස නම් කර ඇති සුරතල් මකරෙකු වැනි වූ මේ රොබෝවා සතු ව ආලෝක සංවේදනය, භූමිය සතියම්ගත කිරීමේ හැකියාව මෙන් ම ලේසර් ආලෝක කදම්භයක් මඟින් නිවැරැදි ඉලක්කය ගැනීමට ද හැකියාව පවතිනවා. සුනඛයෙකුගේ පාද හා ගමන් විලාසය අනුගමනය කරන රොබෝටික පාද හතරකට හිමිකම් කියන Thermonator බල ගැන්වෙන්නේ ප්‍රති ආරෝපණය කළ හැකි විද්‍යුත් කෝෂයක් මඟින්.

“ඔබේ අසමසම ගිනි සහායකයා” යන උදාන වැකියෙන් ආඪ්‍ය වුණු Thermonator වනජීවී පාලනය, කෘෂිකාර්මික පරිපාලනය, පරිසර සංරක්ෂණය, හිම සහ අයිස්තට්ටු ඉවත් කිරීම, විනෝදාස්වාදය මෙන් ම සිනමා කර්මාන්තයේ දී අවශ්‍ය වන විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග ඇති කිරීම ආදී කටයුතු සඳහා ප්‍රයෝජනවත් වන බව Throwflame සමාගම සඳහන් කරනවා. රොබෝවාගේ මිල සඳහන් ව ඇත්තේ ඇමරිකානු ඩොලර් 9,420 ලෙසයි.

කෙසේ නමුත් ඇතැම් පිරිස් පෙන්වා දෙන්නේ මෙය නුවණට හුරු ක්‍රියාවක් නො වන බවයි. Thermonatorගේ හඳුන්වා දීමෙන් පසු සමාජ මාධ්‍ය ජාලාවල කමෙන්ටු ලෙස පරිශීලකයන් පෙන්වා දුන්නේ “අපට පුළුවන් යන්න, අප එය කළ යුතු ය යන්න අදහස් නො කරන” බවයි.

තවත් පරිශීලකයෙක් 2017 වසරේ නිකුත් වූ Black Mirror කතාංගයක් පුනරාවර්ජනය කර තිබුණා. Black Mirror නම් අතිශය ජනප්‍රිය ඒකාංගික කතාංගවලින් යුතු ටෙලි කතා මාලාව උලුප්පා දක්වනුයේ මතු ව එන නව තාක්ෂණයෙන්ගේ අඳුරු පැතිකඩයි. ඉහත පරිශීලකයා පෙන්වා දුන් කතාංගය ගොඩනැඟෙන්නේ මාරාන්තික රොබෝ සුනඛයන් විසින් පාලනය කෙරෙන පස්චාත් ව්‍යසන ලෝකයක උන්ගෙන් බේරී ජීවත් වීමට උත්සාහ දරන කාන්තාවක් වටායි.

“නියමයි. මේක ලැව් ගින්නක් ඇති කළාම, එහෙමත් නැත්නම් අල්ලපු ගෙදර ගිනි තිබ්බම අයිතිකාරයා වගකියනව ද?” තවත් පරිශීලකයෙක් විමසා තිබුණා.

flamethrower උපාංග “විනාශකාරී උපාංගයක්” ලෙස සලකන මේරිලන්ඩ් ජනපදය හැරුණු විට මුළු ඇමරිකා එක්සත් ජනපදය පුරා ම ඒවා නීතිගතයි. එසේ ම කැලිෆෝනියා ප්‍රාන්ත වැසියන් හට අඩි 10ට වැඩි දුරකට ගින්දර පිට කළ හැකි flamethrower උපකරණයක් භාවිත කරන්නේ නම් ඒ සඳහා නිසි බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය කර තිබෙනවා.

The Guardian ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications