සූර්යයා සිය 11 වැනි සූර්ය චක්‍රයේ උච්ඡතම අවධියට එළඹෙමින් නිකුත් කරන ලද සූර්ය ගිනිදළු විසර්ජන (coronal mass ejections) හේතුවෙන් හටගත් සූර්ය කුණාටු තත්තවය මත උත්තර හා දක්ෂිණ අර්ධගෝලවල ඉහළ අහසේ මනස්කාන්ත දර්ශන මවමින් ඌෂාලෝක (Aurora) ඇති වෙමින් තිබෙනවා. සාමාන්‍ය තත්ත්ව යටතේ උෂාලෝක දිස් වන කලාප අබිබවමින් යුරෝපය, උතුරු ඇමරිකාව, කැනඩාව වැනි උතුරු අර්ධගෝලයට අයත් ඇතැම් රටවලට මෙන් ම ඕස්ට්‍රේලියාව, නවසීලන්තය හා තස්මේනියාව වැනි දක්ෂිණ අර්ධගෝලයට අයත් ඇතැම් රටවල වැසියන්ට ද සැඳෑ අහසේ මැවෙන මේ විසිතුරු දර්ශනය නැරඹීමේ අවස්ථාව උදා වී තිබෙනවා. ඌෂාලෝක දැක්වෙන ලොව නන් දෙසින් ලැබෙන ඡායාරූප මේ වන විට අන්තර්ජාලය පුරවා දමන්නට සමත් ව තිබෙනවා.
සූර්ය කුණාටු තත්ත්වය නිසා ඇති වන භූ විද්‍යුත් චුම්භක කුණාටු තත්ත්වය පසුගිය සෙනසුරාදා උච්ඡතම අවධියට පත් වුණා. ඒ භූ විද්‍යුත් චුම්භක කුණාටුවක ප්‍රබලතාව සටහන් කෙරෙන මිනුම් ඒකකයේ ඉහළ ම මාපාංකය වන 5G තත්ත්වය සටහන් කරමින්. ඇමරිකාවේ National Oceanic and Atmospheric (NOAA) ආයතනයේ දත්තවලට අනුව 2003 වසරේ සිදු වූ “හැලෝවීන් කුණාටු” ලෙස හඳුන්වන සූර්ය කුණාටු තත්ත්වයෙන් පසු පෘථිවි වායුගෝලයට වැඩිම බලපෑමක් එල්ල කරන සූර්ය කුණාටු තත්ත්වය මෙයයි.
කුණාටු තත්ත්වයේ ප්‍රබලතාව මත ඌෂාලෝක දර්ශනය වන කලාපවල ද විස්තාරණය වීමක් සිදු ව තිබෙනවා. මේ හේතුවෙන් උත්තර ධ්‍රැවයේ හටගන්නා ඌෂාලෝක ප්‍රවර්ගය වන Aurora borealis හෙවත් ‘උත්තරාලෝකය’ දිස් වන කලාපය ලෝක ගෝලය මත තවදුරටත් පහළට වර්ධනය වීමත් දක්ෂිණ ධ්‍රැවයේ හටගන්නා aurora australis හෙවත් ‘දක්ෂිණාලෝක’ දිස් වන කලාපය තරමක් ඉහළට වර්ධනය වී ඇති බවත් පෙනෙන්නට තිබෙනවා. ඌෂාලෝක හටගන්නේ සූර්ය විසර්ජනවලින් පිට වන ආරෝපිත අංශූන් පැයට මීටර මිලියන 45ක තරම් අධික වේගයකින් හමාවිත් පෘථිවියේ චුම්භක ක්ෂේත්රය හා ඉහළ වායුගෝලයේ ස්පර්ශ වීමේ දීයි. බොහෝ විට ඇති වන ඌෂාලෝකයන් කොළ පැහැයක් ගන්නා අතර ඒ හා සම්මිශ්ර ව දම්, රතු, වයලට් හෝ සුදු පැහැයන් ද දැකගත හැකියි.
NOAA නිවේදනය කරන්නේ කුණාටු තත්ත්වය හේතුවෙන් විදුලි පරිපථවල වෝල්ටීය විචල්‍යතාවන් හටගත හැකි බවයි. එසේ ම රේඩියෝ සම්ප්රේෂණවල මෙන් ම චන්ද්‍රිකා සන්නිවේදන කටයුතුවල ද ඇණහිටීම් වාර්තා විය හැකියි.
උදාහරණයක් වශයෙන් 2003 වසරේ සිදු වූ “හැලෝවීන් කුණාටු” අවස්ථාවේ දී ස්වීඩනයේ විදුලි ඇණහිටීම් වාර්තා වූ අතර දකුණු අප්‍රිකාවේ විදුලි පරිණාමකවලට (ට්‍රාන්ස්ෆෝමර්ස්) හානි සිදු වී තිබුණා.
CNN වෙත අදහස් දක්වමින් The Planetary Society හි ප්‍රධාන විධායක නිලධාරී මෙන් ම සමාජ ක්‍රියාකාරී Bill Nye සඳහන් කළේ කෙතරම් මනස්කාන්ත දර්ශන මවාලූ වත් විදුලි බලය මත රඳා පවතින නූතන ලෝකය එමඟින් අවදානමේ හෙළෙන බවයි.
ඉහළ යන සූර්ය විකිරණය හේතුවෙන් NASA සතු ඇතැම් චන්ද්‍රිකාවල සංවේදී විද්‍යාත්මක උපාංග දැවී යාමට ඉඩ ඇති බැවින් අවශ්‍යතාවක් මතු වුවහොත් ඒවා ක්‍රියා විරහිත කරීමට සිදු වනු ඇති බව NASA ආයතනයේ සූර්ය භෞතික විද්‍යා අංශයේ අධ්යක්ෂ Antti Pulkkinen සඳහන් කළා. එසේ වුවත් මේ මොහොතේ දී පවා සූර්ය නිරීක්ෂණ චන්ද්‍රිකා හිරුගේ ක්‍රියාකාරිත්වය දෙස සිය අවධානය යොමා සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
සෞන්දර්ය සෙනරත්