ලොව කීර්තිමත් ජර්මානු සංගීතඥ ලුඩ්විග් වෑන් බීතෝවන්ගේ හිසකෙස්වල අධික ප්‍රමාණවලින් බැර ලෝහ ඇති බව හඳුනා ගැනීමෙන් ඔහුගේ බිහිරි බවට හේතුව ඊයම් විෂවීම විය හැකි බව නවතම අධ්‍යයනයකින් සොයාගෙන තිබෙනවා.
පසුගිය මැයි 6 වෙනි දින Clinical Chemistry ජර්නලයේ පළ කරන ලද වාර්තාවකට අනුව එහි පර්යේෂකයන් විසින් බීතෝවන්ගේ විශ්වාසනීය කෙස් රොද දෙකක DNA විශ්ලේෂණය කිරීමෙන් ඒවායේ අනතුරුදායක ලෙස ඉහළ සාන්ද්‍රණයන්ගෙන් ඊයම් මෙන් ම ආසනික් හා රසදිය අඩංගු බව අනාවරණය කරනවා. නිදසුනක් ලෙස එක් කෙස් රොදක කෙස්වල ඊයම් සාන්ද්‍රණය කෙස් ග්‍රෑමයකට ඊයම් මයික්‍රො ග්‍රෑම් 380 ක් වූ අතර අනෙක් කෙස් රොදේ එය කෙස් ග්‍රෑමයකට ඊයම් මයික්‍රො ග්‍රෑම් 258 ක් වූවා. අද පිළිගන්නා අනතුරුදායක නො වන සාමාන්‍ය ඊයම් සාන්ද්‍රණය ග්‍රෑමයකට ඊයම් ග්‍රෑම් 4 කට ආසන්න හෝ ඊටත් අඩු අගයක් වෙනවා.
තව ද බීතෝවන්ගේ කෙස්වල සාමාන්‍ය මට්ටම මෙන් 13 ගුණයක් අධික ව ආසනික් ද, සාමාන්‍ය මට්ටම මෙන් සිව් ගුණයකින් වැඩියෙන් රසදිය ද අන්තර්ගත් බව එම වාර්තාවේ දැක්වෙනවා. “මම කෙස්වල මෙතෙක් දැක තිබෙන ඉහළ ම සාන්ද්‍රණයන් මේවායි.” ඉහත වාර්තාවේ සම කතුවරයෙකු වන එක්සත් ජනපදයේ Mayo Clinic වෛද්‍ය මධ්‍යස්ථානයේ ව්‍යාධි වේදියකු වන පෝල් ජැනෙටෝ The New York Times පුවත්පතට එසේ සඳහන් කර තිබෙනවා.
අධ්‍යයනයේ කතුවරුන් දක්වන අන්දමට මෙම විෂ ලෝහවල ඉහළ මට්ටම් මඟින් බීතෝවන් පෙලුණු ආබාධ රැසකට හේතු පැහැදිලි කළ හැකි වෙනවා. ඔහුගේ කන් ඇසීම අඩු වීම වයස විසි ගණන් වැළදීම ඇරඹුණු අතර වයස හතලිස් ගණන්වල අග වන විට සම්පූර්ණ බිහිරි පුද්ගලයකු බවට පත් වුණා.
ඔහුට ආමාශ ආන්ත්‍රික ගැටලු රැසක් තිබූ අතර අක්මා ආබාධවල රෝග ලක්ෂණ ලෙස හටගත් සෙංගමාලයෙන් දෙවරක් පීඩා විඳ තිබෙනවා. ඔහුගේ ඉහළ ඊයම් මට්ටම ජීවිතයේ වැඩි කාලයක් තුළ ඔහු පෙලුණු ආබාධවලට දායක විය හැකි බව ඉහත පර්යේෂකයන් පෙන්වා දෙනවා.
ඔහුගේ ඉහළ ආසනික් හා රසදිය මට්ටම් සෞඛ්‍යය කෙරෙහි කෙසේ බලපෑමක් ඇති කළා ද යන්න ඔවුන් මෙහි සඳහන් කර නැහැ. මෙයට පෙර එළි දැක්වූ අධ්‍යයනයකින් ද බීතෝවන්ගේ කෙස්වල ඊයම් මට්ටම් ඉහළ බව පසුගිය වසරේ කියැවුණ ද පසු ව එහි සඳහන් කෙස් Ashkenazi යුදෙව් ජාතික කාන්තාවකට අයත් ව්‍යාජයක් බව හෙළිදරව් කෙරුණා.
එහෙත් නවතම DNA පරීක්ෂාවලින් Clinical Chemistry ජර්නල වාර්තාවේ දැක්වෙන කෙස් බීතෝවන්ගේ බව ස්ථිර ව ම තහවුරු කර තිබෙනවා. 1770 වසරේ උපත ලද මේ මහා සංගීතඥයා තම 56 වෙනි වියේ දී අභාවයට පත් වීමට පෙර හෙපටයිස් B ආසාදනය වී සිටි අතර ඔහුගේ මරණයට දායක වූයේ යැ යි සිතිය හැකි අක්මා රෝගවලට ගොදුරු වීමේ දැඩි අවදානමක් ඔහු තුළ තිබුණා.
බීතෝවන් තුළ මෙම බැර ලෝහ මෙතරම් අධික ව ශරීරගත වීමට හේතුව ලෙස එක් ප්‍රවාදයකින් දැක්වෙන්නේ වයින්වලට ඔහු තුළ තිබූ අධික ලැදියාවයි.
ඔහු දිනකට සම්පූර්ණ වයින් බෝතලයක් පානය කළා. ඒ කාලයේ දී වයින් නිෂ්පාදකයන් විසින් පරිරක්ෂණකාරකයක් මෙන් ම පැණි රසකාරකයක් ලෙස ලෙඩ් ඇසිටේට් නම් ඊයම් ලවණය යොදා ගැනීම සුලභ ව සිදු වුණා. අනෙක් අතට වයින් ඇසිරූ බෝතල්වල ද ඊයම් අංශු මාත්‍ර ප්‍රමාණවලින් තිබුණා.
තව ද පස් වැනි සංධ්වනියේ සංගීත නිර්මාපකයා වූ ඔහු ආසනික් සහ රසදිය වලින් දූෂිත වූ ජලය ගලා ගිය ඩැනියුබ් ගංගාවෙන් අල්ලා ගත් මසුන් විශාල ලෙස අනුභව කර තිබෙන බව මේ පිළිබඳව පළ වූ CNN වාර්තාවක දැක්වෙනවා.
බීතෝවන් විසූ කාලයේ දී තම ආදරය දිනූ හෝ කීර්තිමත් පුද්ගලයින්ගේ කෙස් රොදවල් කපා සුරක්ෂිත ව සිහිවටන මෙන් තබා ගැනීම සිරිතක් ව තිබුණා. එනිසා ම ඔහු ජීවත් ව සිටිය දී හේතු හඳුනා ගැනීමට අපොහොසත් වූ බීතෝවන්ගේ රෝගාබාධ වෙත අපූරු ආලෝකයක් එම කෙස් රොදවලින් එල්ල වී තිබෙනවා.
Live Science සහ Clinical Chemistry ඇසුරෙනි.
ප්‍රේමශාන්ත කුමාරසිරි