Home Science News ගුවන් අනතුරින් ඉරාන ජනපති මිය ගිය බව තහවුරු කෙරේ

ගුවන් අනතුරින් ඉරාන ජනපති මිය ගිය බව තහවුරු කෙරේ

by Sathya

ඊයේ රාත්‍රියේ සිදු වූ ගුවන් අනතුරෙන් ඉරාන ජනාධිපතිවරයා ඇතුළු ව හෙලිකොප්ටරයේ ගමන් ගත් සියලු දෙනා මිය ගොස් ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය සඳහන් කරනවා. හෙලිකොප්ටරය අනතුරට පත් වන විට ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රාසි, විදේශ අමාත්‍ය හුසේන් අමිර් අබ්දුල්ලාහියන් සහ තවත් සත් දෙනෙකු එහි ගමන් කරමින් සිටියා.

ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිස ඉරානය සහ අසර්බයිජානය දේශ සීමාවේ ඇති වේල්ලක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වී ආපසු එමින් සිට තිබෙනවා. ඒ හෙලිකොප්ටර් යානා තුනකින් සමන්විත අනුවජ්‍රයකට අනුගත වයි. ඉන් යානා දෙකක වෙනත් අමාත්‍යවරුන් සහ නිලධාරීන් ගමන් කර තිබූ අතර සුරක්ෂිත ව සිය ගමනාන්තය වෙත ළඟා වී තිබුණා. වහා ම ගලවා ගැනීමේ කණ්ඩායම් දියත් කෙරුණු නමුත් අසර්බයිජාන දේශසීමාවේ ඇති ව තිබූ අයහපත් කාලගුණ තත්ත්වය, මීදුම සහ අඩු ආලෝක තත්ත්වයන් හේතුවෙන් එය අභියෝගාත්මක කටයුත්තක් වී තිබුණා. යානා පෙළ ගමන් කරමින් පැවතිවේ කඳු ගහන ප්‍රෙද්ශයක් මතින් බව ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙනවා.

ඉරානය විසින් කරන ලද ඉල්ලීමකට අනුව යුරෝපානු සංගමය සිය Copernicus EMS චන්ද්‍රිකා සිතියම් සේවය යානයේ සෝදිසි කටයුතු වෙනුවෙන් යෙදවුණු අතර තුර්කිය විසින් එවන ලද ඩ්‍රෝන යානයක් මඟින් අනතුර සිදු වූ ස්ථානයේ යැ යි උපකල්පනය කළ හැකි උෂ්ණත්ව සලකුණක් ද ග්‍රහණය කරගෙන සෝදිසි මෙහෙයුම් වෙත ලබා දෙනු ලැබුණා. ඉරාකය, රුසියාව, පාකිස්ථානය, ඉන්දියාව, ආමේනියාව සහ සෞදි අරාබිය ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා සහයෝගය පළ කර තිබුණා.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද පෙරවරු 8.00ට පමණ යානය කඩා වැටුණු ස්ථානය නිවැරැදි ව හඳුනාගත් බව ගලවාගැනීමේ කණ්ඩායම් නිවේදනය කළා. ඉන් අඩ හෝරාවකට පමණ පසු නිවේදනය කෙරුණේ රාසිගේ හෙලිකොප්ටරයේ සුන්බුන් අතර ‘ජීවයක සලකුණු නො පෙනෙන’ බවයි. හෙලිකොප්ටරය මුළුමනින් ම පාහේ දැවීගොස් තිබූ බව ඉරාන බලධාරීන් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළා. සෝදිසි මෙහෙයුම් සඳහා යොදාගත් ඩ්‍රෝන යානවකින් පටිගත කෙරුණු හෙලිකොප්ටර් යානයේ සුන්බුන් දැක්වෙන වීඩියෝපටය මාධ්‍ය මඟින් මුදා හැරු‍ණේ ඉන් පැයකට පමණ පසු ව යි. ඉරාන ජනාධිපතිවරයා ගමන් ගත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ නිල් පැහැති වල්ගා කොටස පමණක් ඉතිරි වන්නට ඉතිරි කොටස් සියල්ල දැවී ගොස් තිබෙන අයුරු ඉන් දැක්වුණා.

BBC සේවය වාර්තා කරන පරිදි මෙලෙස අනතුරට පත් බෙල් 212 හෙලිකොප්ටර් යානය ඉරානය වෙත ලැබී ඇත්තේ 1979 වසරේ එරට සිදු වූ විප්ලවයට ද පෙරයි. ඇමරිකාවේ නිෂ්පාදිත මෙම මාදිලියට අයත් එකදු හෙලිකොප්ටර් යානයක් හෝ ඉන් පසු ඉරානය වෙත අලෙවි කර නැහැ. ඇමරිකාවේ සම්බාධක පැනවීම් අඩුවැඩි වශයෙන් එයට බලපා තිබුණා.

ගුවන් අනතුරින් ඉරාන ජනාධිපතිවරයා මිය ගියේ සිරියාවේ පිහිටි රාජ්‍යතාන්ත්‍රික ගොඩනැඟිලි සංකීර්ණයකට එල්ල කළ ප්‍රහාරයකට පිළිතුරු වශයෙන් ඊශ්‍රායලයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමෙන් මසක් සම්පූර්ණ වන දිනයේයි. උමා ඔය ව්‍යාපෘතිය ජනසතු කිරීමට සමගාමී ව ඔහු පසුගිය මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක ද නිරත වුණා.

CNN / BBC / Al Jazeera / Reuters ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications