කළු කුහරයක් සතු ව පවතින “plunging region” හෙවත් “කිඳාබසින කලාපයක්” ප්‍රථම වරට නිරීක්ෂණය කරන්නට විද්‍යාඥයන් සමත් වී තිබෙනවා. පදාර්ථ කළු කුහරය වටා කක්ෂගත වීම නතර කර දමා කෙළින් ම ගිල ගන්නා කලාපයේ සීමාව වන මේ කලාපය ගැන මාහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතාවාදයේ විස්තර කර තිබුණත් එවැන්නක් මෙතෙන් යථා පරිදි නිරීක්ෂණය වී තිබුණේ නැහැ.
ඔනෑ ම පදාර්ථයක් කළු කුහරයක් වෙත පමණට වඩා ළං වන විට එය “accretion disc” හෙවත් “උපවයන තැටිය” ලෙස හැඳින්වෙන කක්ෂගත වළල්ලක් ආකාරයේ කලාපය වෙත ඇතුළු වනවා. මේ තැටි ආකාර ව්‍යුහය අභ්‍යන්තරයේ ආලෝකයේ වේගයෙන් කළු කුහරය තුළට කිඳා බසිනු විනා තවදුරටත් කිසිවකට කක්ෂගත ව පැවතීමේ ඉඩක් නොමැති තරමට ගුරුත්වය දැඩි සීමාවක් පවතින බව සාමාන්‍ය සාපේක්ෂතාවාදයේ පෙන්වා දෙනවා.
“ඒක හරියට ගඟක්, දිය ඇල්ලකට හැරෙනවා වගෙයි. අපි මේ වෙනකල් දැකලා තියෙන්නේ ගඟ ගලනවා විතරයි.” ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ Andrew Mummery සඳහන් කරනවා. “අයින්ස්ටයින් වරදවාගෙන තිබුණා නම් නම් මේ සියල්ල සථාවර තත්ත්වයක පැවතිය යුතුයි. එවිට පැවතිය හැක්කේ ගඟ ම පමණයි.” දැන් අයින්ස්ටයින් නිවැරැදි බව සනාථ කරමින් ප්‍රථම වතාවට එම ‘දිය ඇල්ල’ වෙත එබී බලන්නට පර්යේෂණ කණ්ඩායම සමත් වී තිබෙනවා.
Mummery සහ පර්යේෂණ සගයන් මෙවැනි කලාපයක ඉඟිය දැක තිබුණේ MAXI J1820+070 ද්විත්ව කළු කුහර පද්ධතියෙනුයි. එය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 10,000ක් ඈතින් පිහිටා තිබෙනවා. මේ නිරීක්ෂණය සඳහා ඔවුන්ගේ සහයට පැමිණ තිබුණේ එක්ස් කිරණ අභ්‍යවකාශ දුරේක්ෂයක් වන Nuclear Spectroscopic Telescope Array (NuSTAR) යානයයි. ඉන් ලබා ගැනුණු දත්ත උපයෝගී කරගනිමින් කළු කුහරයේ තැටිය වටා පවතින ආලෝකය ආකෘතියකට නැංවූවා.
මෙහි දී ඔවුන්ට පෙනී ගොස් තිබුණේ මොඩලය සහ දත්ත හරියට ම ගැලපෙන්නේ තැටියෙන් නික්මෙන ආලෝකයට අමතර ව කිඳා බසින කලාපය තුළ ඇති පදාර්ථ මඟින් නිකුත් කෙරෙන ආලෝකය ද එකතු කළ විට බවයි. “මීට පෙර අපි සිතා සිටියේ මේ සීමාව ඉක්මවන ඕනෑ ම දෙයක් අතිශය වේගයකින් උරාගනු ලබන බැවින් ආලෝකය නිකුත් කිරීමට තරම් වත් ප්‍රමාණවත් කාලයක් එය සතු වන්නේ නැති බවයි. නමුත් දැන් පෙනෙන පරිදි බලාපොරොත්තු නො වූ ලෙස මේ කලාපයෙන් පවා අමතර ආලෝකයක් එක්කෙරෙනවා.” මේ අධ්‍යයනයට සහභාගී නො වූ නිව් මෙක්සිකෝවේ ලොස් ඇලමොස් ජාතික විද්‍යාගාරයේ විද්‍යාඥ Greg Salvesen සඳහන් කරනවා. plunging region කලාපය සැබැවින් ම පවතින බව සොයා ගත හැකි වූයේත් අනපේක්ෂිත ලෙස ඒ කලාපයෙන් නිකුත් වූ ආලෝකය නිසයි. නැතහොත් මෙතෙක් කල් සිතා සිටි ලෙසින් එය අඳුරේ ගිලී පැවතියේ නම් ඇතැම් විට කිසි දාක එයි න්‍යායාත්මක පැවැත්ම හැර යථා විශ්වීය පැවැත්ම තහවුරු කර ගැනීමට අවස්ථාව නො ලැබී යන්නට ඉඩ තිබුණා.්
New Scientist ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්