ඉකුත් 18 දා පෘතුගාලයට සහ ස්පාඤ්ඤයට ඉහළ අහස නීල-හරිත එළියකින් ඒකාලෝක කරමින් ඇදී ගිය fireball ආකාරයේ උල්කාපාතයක් දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ පට මේ වන විට අන්තර්ජාලයේ වැඩි අවධානයක් දිනා ගන්නට සමත් ව තිබෙනවා.
යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සිය (ESA) මඟින් එය ධූමකේතුවකින් ගැලවී ගිය කොටසක් බවත් එරට වේලාවෙන් පස්වරු 6.45 ට ස්පාඤ්ඤයේ Cáceresහි පිහිටි සිය කැමරා පද්ධතියක ද පටිගත වී ඇති බව තහවුරු කරනු ලැබුණා. එය අත්ලාන්තික් සාගරයට ඉහළින් වායුගෝලයට ඇතුළු වී ඇති බව සහ පොළොවේ සිට කිලෝමීටර 60ක උන්නතාංශයකින් ඇදී යන්නට ඇති බව ESA සඳහන් කරනවා. ගුවන හරහා එය ඇදී ගොස් තිබෙන්නේ පැයට සැතපුම් 100,000 ක වේගයකින්. එය ආසන්න වශයෙන් ලොක්හීඩ් මාටින් F-16 ප්‍රහාරක ජෙට් යානාවකට ළඟා විය හැකි උපරිම වේගය මෙන් 65 ගුණයක්.
එදිනෙදා ජීවිතය ගත කරමින් සිටි ජනතාවගේ ජංගම දුරකථන කැමරාවල ද අහම්බයෙන් මේ දර්ශනය පටිගත වී තිබෙනවා. X, Facebook, Reddit මෙන් ම අනෙකුත් සමාජ මාධ්‍ය ජාලවල මේ සිදු වීම දැක්වෙන දර්ශන හා අදහස් විශාල වශයෙන් හුවමාරු වී තිබුණා.
මෙලෙස දර්ශනීය ලෙස ඇදී ගොස්, නිවී (හෝ පිපිරී) යන උල්කාපාත ග්‍රහක, ධූමකේතු, චන්ද්‍රයා හෝ ඇතැම් විට වෙනත් ග්‍රහලෝකවලින් වෙන් වූ පාෂාණ කොටස් ලෙස සැලකෙනවා. ඒවා අධික වේගයකින් පෘථිවි වායුගෝලයට ඇතුළු වන විට ඇති වන ඝර්ෂණය හේතුවෙන් ගිනි ගන්නා අතර දීප්තිමත් වල්ගයක් ඇති කරමින් අහසේ ඇදී යනු දැකිය හැකියි. නමුත් මෙවැනි ආකාරයේ අහස ම ආලෝකවත් කරමින් ඇදී යන fireball ආකාරයේ උල්කාපාත තරමක් විරලයි.
උල්කාවක් ඇදී යන විට හටගන්නා වල්ගයේ වර්ණය අනුව එහි බහුල ව අඩංගු රසායනික මූලද්‍රව්‍යය කුමක් දැ යි නිර්ණය කරගත හැකියි. පෘතුගාලය සහ ස්පාඤ්ඤයට ඉහළින් ඇදී ගිය උල්කාපාතය නිකුත් කළ නිල්-කොළ පැහැ දීප්තිමත් ආලෝකයෙන් පැහැදිලි වන්නේ එය මැග්නීසියම් බහුල පාෂාණ කොටසක් විය යුතු බවයි. “pallasites” ලෙස හැඳින්වෙන මෙවැනි මැග්නීසියම් බහුල බොහෝ උප්කාශ්මවල අභ්‍යන්තරයේ ඔලිව් කොළ පැහැයෙන් යුතු ස්ඵටිකමය ස්වරූපයක් දැකිය හැකියි.
කෙසේ නමුත් යමක් පැලසයිට් සහිත උල්කාපාතයක් දැ යි සැක හැර දැනගත හැකි වන්නේ එය (හෝ කොටස්) පොළොව මත පතිත වී තිබිය දී සොයා ගතහොත් පමණයි. පෘතුගාලයට සහ ස්පාඤ්ඤයට ඉහළින් ඇදී ගිය උල්කාපාතය මුළුමනින් දැවී නො යා පොළොව මතට පතිත වී තිබීමේ සම්භාවිතාව අවම අගයක් බව ESA නිවේදනය කර තිබෙනවා. කෙසේ නමුත් ඉදිරි දින කිහිපය උල්කාශ්ම කැබලි සොයා යන ‘උල්කාශ්ම දඩයක්කරුවන්ට’ අවිවේකී සමයක් වනු ඇති බව උපකල්පනය කළ හැකියි.
Space.com ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්