කැරපොත්තන් අප කාටත් නුහුරු නුපුරුදු සත්ත්ව විශේෂයක් නො වෙයි. කුස්සියේ නල පයිප්ප අතර සිට අත්හැර දැමුණු ගබඩා කාමරවල දක්වා නොයෙකුත් තැන්වල සැඟවී සිට හැල්මේ දුවන කැරපොත්තන් නොදකින දිනයක් නැති තරම්.
නවතම අධ්‍යයනයකින් කැරපොත්තන්ගේ ව්‍යාප්තිය සිදු වී ඇති අයුරු සිතුවමට නැඟීම සඳහා ජාන තාක්ෂණය උපයෝගී කරගෙන තිබෙනවා. ඒ කැරපොත්තන්ගේ සම්භවය සිදු වූ අග්නිදිග ආසියාවේ සිට යුරෝපයටත් ඉන් ඔබ්බටත් සිදු වූ ව්‍යාප්තියේ ගමන් මඟ හෙළි පෙහෙලි කරමින්. අධ්‍යයනයේ සොයා ගැනීම් අනුව පෙනී යන්නේ අදින් වසර දහස් ගණනක් ඈත අතීතයේ සිට කැරපොත්තන් රටින් රටට ව්‍යාප්ත වී ඇත්තේ තවත් ජීව විශේෂයක ‘ඇඟේ එල්ලී’ බවයි. එනම් මනුෂ්‍යයායි.
“මේක හුදෙක් කෘමීන් ගැන කතාවක් නෙවෙයි.” කෘමී ජාන අධ්‍යයනයේ නිරත එහෙත් මෙම අධ්‍යයනය සඳහා සහභාගි නො වූ හූස්ටන්හි Baylor College of Medicine හි සහකාර මහාචාර්යවරයෙකු වන Stephen Richards සඳහන් කරනවා. “මේක කෘමීන් සහ මිනිසුන් ගැන කතාවක්.”
අධ්‍යයනයේ දී පර්යේෂකයන් විසින් මහාද්වීප හයකට අයත් රටවල් 17කින් ලබාගත් කැරපොත්තන් 280කගේ ජාන විශ්ලේෂණය කරනු ලැබුණා. ලොව වටා හමු වන ජර්මානු කැරපොත්තා (Blattella germanica) ද සම්භවය වී ඇත්තේ අග්නිදිග ආසියාවෙන් බව එහි දී සොයා ගැනුණා. ඔවුන් අදින් වසර 2100කට පමණ පෙර කලෙක පටන් ආසියානු කැරපොත්තා (Blattella asahinai) ගෙන් සම්භවය වී පැවත එන විශේෂයක් බව මෙහි දී පෙනී ගොස් තිබුණා. ජර්මානු කැරපොත්තාගේ ද සම්භවය ඇත්තේ ආසියාකරයේ බව සත්ත්ව විද්‍යාඥයන් කලෙක පටන් ම සැක කර තිබුණා.
ආසියාකරයේ සිට කැරපොත්තන් ප්‍රධාන මාවත් දෙකක් ඔස්සේ ලොව පුරා ව්‍යාප්ත වී තිබෙනවා. උන් මැදපෙරදිගට පැමිණ තිබෙන්නේ අදින් වසර 1200කට පමණ පෙරයි. ඒ බොහෝ විට සොල්දාදුවන්ගේ ආහාර බඳුන්වල සැඟවීගෙනයි. විද්‍යාඥයන් සඳහන් කරන්නේ යුරෝපය වෙත ඔවුන්ගේ සංක්‍රමණය සිදු වී ඇත්තේ අදින් වසර 270කට පමණ පෙර ලන්දේසින්ගේ සහ බ්‍රිතාන්‍යයන්ගේ පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම්වල නෞකා ඔස්සේ මුහුදු මාවත්වලින් බව ය. එසේ සංක්‍රමණය වූ පසු වාෂ්ප එන්ජින් සහ ජලනල පද්ධති වැනි ගෘහාශ්‍රිත වටපිටාවන්ට හුරු වන්නට ඇති බවයි විද්‍යාඥයන් සඳහන් කරන්නේ.
පර්යේෂකයන් පෙන්වා දෙන්නේ කැරපොත්තන් පුරාණයේ සිය වාස දේසය අබිබවා ගිය ආකාරය සොයා යාම ඔස්සේ පළිබෝද පාලනයේ දී වැදගත් වනු ඇති බවයි.
Associated Press ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්