ඊජිප්තු ශිෂ්ටාචාරය වෛද්‍ය විද්‍යාව අතින් සුවිශේෂ වූ ස්ථානයක පසු වූ බව අවිවාදිත ව පිළිගැනෙන්නක්. ඒවා කොතරම් සූක්ෂ්ම වී ද යත් වසර දහස් ගණනකට පසු අප අදත් ඔවුන්ගේ වෛද්‍ය රහස් හෙළි කරගනිමින් සිටිනවා.
නමුත් ඊජිප්තු ප්‍රතිකර්ම කිරීමට යාමේ දී වෙදැදුරන්හට ද අභියෝගයක් වූ ලෙඩ රෝග නැතුවා ම නො වෙයි. ඒ අතරින් එක් රෝගයකට ප්‍රතිකාර කිරීම අද පවතින වෛද්‍ය විද්‍යාවටත් අභියෝගයක්. ඒ අන් කිසිවක් නො ව පිළිකාවයි.
කෙසේ නමුත් පුරාණ ඊජිප්තු වැසියන් පිළිකාවට පවා ඔහේ පවතින්නට ඉඩ දී නොමැති බව පෙනෙන්නට තිබෙනවා. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය සතු මිසර දේශයෙන් ලැබුණු හිස්කබල් දෙකකින් පිළිකා ලක්ෂණ මෙන් ම එය සුවපත් කිරීම සඳහා කළේ යැ යි සැලකෙන ප්‍රතිකර්ම උත්සාහයන්ගේ සලකුණු හඳුනා ගන්නට විද්‍යාඥයන් සමත් ව සිටිනවා.
“අදින් වසර 4000කට පමණ පෙර ඊජිප්තු වෛද්‍ය විද්‍යාව පිළිකා හඳුනා ගැනීමටත් ඒවා සඳහා ප්‍රතිකාර කිරීමත් සිදු කළ ආකාරය ගැන අද්විතීය සාක්ෂි හෙළිකර දීමට මේ සොයා ගැනීම සමත් වී තිබෙනවා. මෙය වෛද්‍ය විද්‍යාවේ ඉතිහාසය දෙස අපි දකින කෝණය අලුත් කරාවි.” ස්පාඤ්ඤයේ සැන්ටියාගෝ ඩි කොම්පොස්ටෙලා විශ්වවිද්‍යාලයේ පුරාව්‍යාධි විද්‍යාඥ Edgard Camarós සඳහන් කරනවා.
මේ හිස්කබල් දෙක ම පිළිකාලට ගොදුරු වී සිටි මිනිසුන් දෙදෙනෙකුට අයත් ව තිබූ බවට ලක්ෂණ පෙන්නුම් කරනවා. නමුත් අන්වීක්ෂීය හා CT ස්කෑන් විශ්ලේෂණයකින් පසු වඩාත් සියුම් නිරීක්ෂණයන් සිදු කිරීමට විද්‍යාඥයන් සමත් වී තිබුණා.
හිස් කබල් දෙකෙන් 236 ලෙස අංකනය කර තිබූ හිස් කබල ක්‍රිස්තු පූර්ව 2687 සිට 2345 අතර කාලයේ ඊජිප්තුවේ විසූ පිරිමි පුද්ගලයෙකුට අයත් වූවක්. ඔහු මියගොස් තිබුණේ වයස 30 ගණන්වල පසු වන විට දීයි. දරුණු මොළයේ පිළිකාවකට නිවහන වී තිබූ ඒ හිස්කබලේ තුවාල වී ඇති තැන් 30 ක් පමණ නිරීක්ෂණය වී තිබුණා. මේ තුවාල වී ඇති විවරයන් සාපේක්ෂ ව කුඩා වූ නමුත් ඒ අතර තරමක් විශාල විවරයන් ද තිබුණා. ඒ අතර හිස් කබල මුදුනේ වූ කාසියක ප්‍රමාණයෙන් යුතු සිදුරක් ද පිහිටියා. එය සෑදී තිබෙන බව පෙනුණේ පිළිකා පටක හෙවත් නියෝප්ලැසම මඟින් හිස් කබලේ වූ පටක ඛාදනය වීමෙන්.
තවත් සූක්ෂ්ම ලෙස එය නිරීක්ෂණය කිරීමේ දී පර්යේෂකයන්හට දැකගත හැකි වූයේ මේ සිදුරුවල ඉවුරුමත කැපුම් සලකුණු සටහන් ව ඇති බවයි. ඉන් පෙනී ගියේ පුරාතන වෛද්‍යවරු නියෝප්ලැසම ඉවත් කිරීමට උත්සාහ දරා ඇති බවක්. එය මිනිසා සුවපත් කිරීමට දැරූ උත්සාහයක් ද එසේත් නැතිනම් ඔහු මිය ගිය පසු සිදු කළ මරණ පරීක්ෂණයේ ප්‍රතිඵලයක් දැ යි නිෂ්චිත ව පැවසිය නො හැකි වුවත් නියත වශයෙන් ම එය පිළිකාව හා සිදු කෙරුණු ගනුදෙනුවක් බව නම් සනාථ වී තිබෙනවා.
E270 ලෙස නම් දරා ඇති අනෙක් හිස් කබල ක්‍රිස්තු පූර්ව 663 සිට 343 අතර කාලයේ වාසය කළ 50 හැවිරිදි වියේ දී මිය ගිය කාන්තාවකට අයත් වූවක්. එහි මුදුනේ විශාල ලෙස වැඩුණු වණයක් දැකගත හැකියි. එහෙත් එහි ඇතැම් තැන්වල ඇති වී තිබූ තුවාල සුව වී ඇති බවක් පෙන්නුම් කෙරෙනවා. එහි වම් ඇහිබැමට ඉහළින් ඇති බිඳී ගිය සලකුණක්, යම් තියුණු ඝට්ටනයකින් සිදු වූ බව පෙන්නුම් කරනවා. පර්යේෂකයන් විශ්වාස කරන්නේ යම් තියුණු අවියකින් එම ස්ථානයට පහර දී ඇති බවයි. මේ තුවාලය වඩාත් විශේෂ වන්නේ එය ඉතා හොඳින් සුවපත් වී තිබීමයි. ඉන් ද යෝජනා කෙරෙන්නේ ඇය ප්‍රතිකාර සඳහා යොමු වන්නට ඇති බවයි.
Science Alert ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්