Home Science News NASA යුරේනස් මෙහෙයුමට යුරෝපයත් එක් විය යුතු බවට ඉල්ලීම්

NASA යුරේනස් මෙහෙයුමට යුරෝපයත් එක් විය යුතු බවට ඉල්ලීම්

by Sathya

යුරේනස් වෙත යැවීමට පිඹුරුපත් සකස් කෙරෙමින් පවතින අභ්‍යවකාශ මෙහෙයුමේ අභිවෘද්ධිය වෙනුවෙන් යුරෝපානු විද්‍යාඥයන් NASA ආයතනය සමඟ අත්වැල් බැඳගත යුතු බවට ඉල්ලීමක් ගොඩනැඟෙමින් තිබෙනවා. එම මෙහෙයුම මේ සියවස තුළ දියත් කිරීමට බලාපොරොත්තු වන වඩාත් ම වැදගත් හා බලාපොරොත්තු සහගත මෙහෙයුමක් ලෙස සැලකෙනවා.

තවමත් හරි හැටි හඳුනාගෙන නොමැති වායුමය දැවැන්තයකු වන යුරේනස් වෙත දියත් වන රොබෝටික මෙහෙයුමක් සඳහා ඇමරිකානු, යුරෝපානු සහ එංගලන්ත විශේෂඥයන් එකමුතු ව ක්‍රියා කිරීම “ප්‍රධාන ගණයේ විස්මය දනවන මෙහෙයුමක් සඳහා” මඟ පාදනු ඇති බව තාරකා භෞතික විද්‍යාඥයන් සඳහන් කරනවා.

මේ බව Nature ජර්නලයේ අලුත් ම කලාපය විශේෂ කතුවැකියකින් ද අවධාරණය කර තිබෙනවා. ඉන් පෙන්වා දෙනු ලැබුණේ යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සිය (ESA), NASA ආයතනය සමඟ ජාත්‍යන්තර කොටස්කරුවන් වශයෙන් එක් විය යුතු කාලය පැමිණ ඇති බවයි. එවැනි සයෝගී පදනමක් මඟින් යුරේනස් ගවේෂණ මෙහෙයුම පමා වීමකින් තොර ව නියමිත කාල රාමුව තුළත්, වැය ශීර්ෂ තුළත් තබාගත හැකි වනු ඇති බවයි ඉන් පෙන්වා දෙන්නේ.

මේ යෝජිත මෙහෙයුම NASA ආයතනයේ Planetary Science and Astrobiology Decadal Survey 2023-2032 මඟින් ප්‍රකාශිත වැඩියෙන් ම ප්‍රමුඛත්වය ලබා දිය යුතු මෙහෙයුම් අතර වනවා. යුරේනස් වටා කක්ෂගත යානයකුත් ඉන්, අයිස් ගහන වායුගෝලය වෙත අත්හැරෙන තවත් කුඩා ප්‍රෝබ් යානයකුත් මෙහෙයුමට ඇතුළත් වනවා. මෙහි සංවර්ධන කටයුතු සඳහා වසර 10ක කාලයක් ගතවනු ඇතැ යි අපේක්ෂිත අතර අභ්‍යවකාශගත කිරීමෙන් පසු යුරේනස් වෙත ළඟා වීමට තවත් වසර 12 සිට 15 අතර කාලයක් ගත වනු ඇති බව ඇස්තමේන්තු කර තිබෙනවා.

කතුවැකිය ඔස්සේ අවධාරණය කෙරෙන්නේ ජීවිතයට ම එක් වරක් පමණක් දැකිය හැකි මෙවැනි ආකාරයේ සුවිශාල වැදගත්කමක් ඇති අභ්‍යවකාශ මෙහෙයුමක් සඳහා යුරෝපානු මැදිහත් වීම සහ දායකත්වය නො ලැබී යාම යුරෝපය පුරා විසිරී සිටින විද්‍යාඥයන්, ඉංජිනේරුවන් සහ තාක්ෂණඥයන්ගෙන් සමන්විත විද්‍යා සමාජයේ හැකියාවන් නො සලකා හැරීමක් වනු ඇති බවයි.

The Guardian සහ Nature ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications