දැනට ලෝකයේ නිපදවා ඇති බලවත් ම රොකට්ටුව වන Starship ඊයේ දිනයේ දී (06) සංධිස්ථාන ගණනාවක් සාර්ථක ව පසු කළා. ඒ Starship යානයේ හැකියාවන් පරීක්ෂාකර බැලීම සඳහා සිදු කරන ලද සිව් වැනි පරීක්ෂණ පියාසැරිය අතරතුරයි. එය මේ වසර තුළ SpaceX සමාගම විසින් Starship යානය මුල් කර ගනිමින් සිදු කරන ලද දෙවැනි නො නියමු පියාසැරියයි.
Starship යානයේ දියත් කිරීම සිදු වූයේ ඊයේ නැඟෙනහිර වේලාවෙන් පෙරවරු 8.50ට SpaceX සමාගමට අයත් ටෙක්සාස්හි, බොකා චිකා Starbase දියත් කිරීම් අංගණයේ සිටයි.
Starship දියත් කිරීමේ පද්ධතිය Starship යානයෙන් සහ Super Heavy රොකට් බූස්ටරයකින් සමන්විතයි. මෙවර පරීක්ෂණ පියාසැරියේ දී බූස්ටරය සතු රොකට් එන්ජින් 33න් 32ක් ක්‍රියාත්මක වූ බව X හරහා සජීව ලෙස සිදු වූ SpaceX විස්තර විචාරයේ දී පැහැදිලි කෙරුණා.
මෙවර පරීක්ෂණ පියාසැරිය පෙර වතාවලට වඩා සුපැහැදිලි ජයග්‍රහණයක් SpaceX වෙත ගෙන ආවා. පෘථිවි වායුගෝලය සමඟ සිදු වන ඝර්ෂණයෙන් හටගන්නා උපරිම උෂ්ණත්ව තත්ත්වය යටතේ හානියට පත් නො වීම මෙන් ම කැප්සියුලය සහ බූස්ටරය දෙක ම සාර්ථක ලෙස පාලිත ගොඩබෑම් සිදු කිරීම ඒ අතර වනවා.
Starship යානයෙන් වෙන් වූ Super Heavy බූස්ටරය ප්‍රථම වතාවට සාර්ථක ‘ගොඩබෑමේ දහනයක්’ (landing burn) සිදු කරමින්, පියාසැරියේ 8 වැනි විනාඩිය ගත වන විට නිරුපද්‍රිත ව ගල්ෆ් මෙක්සිකෝ මුහුදට පහත් වුණා.
ඒ අතරේ Starship යානය පොළොවේ සිට කිලෝමීටර 150ක් ඉහළින්, පැයට කිලෝමීටර 25,000ක වේගයකින් ලොව වටා ඇදී ගිය අතර විනාඩි 50කට පසු ඉන්දියානු සාගරයට ඉහළින් වායුගෝලයට ඇතුළු වුණා. මේ අතරතුර යානය වායුගෝලයේ ඇතිල්ලෙද්දී හටගන්නා අතිශය වර්ණවත් ප්ලාස්මාවන් ද ගොඩනැඟෙනු යානයේ ස්ථාපිත කැමරා මඟින් දැකගැනීමට හැකියාව ලැබුණා. බලාපොරොත්තු වූ පරිදි ම ගොඩ බැසීම් දහනය සිදු කිරීමට Starship යානය සමත් වුණේ එය ඉන්දියානු සාගරය මත සුමට හා නිරුපද්‍රිත ගොඩබැස්මක් සිදු කිරීමට අවස්ථාව ලබා දෙමින්.
මේ ගමන අතරතුර යානයේ පිටත උෂ්ණත්වය දරාගැනීම සඳහා ගවසා ඇති ෂඩාස්රාකාර ටයිල් බොහෝ ගණනක් විනාශ වී තිබූ අතර එක් පත්කකට (flap) ද හානි සිදු වී තිබුණා. කෙසේ නමුත් සමස්ත පරීක්ෂණ පියාසැරිය සලකා බැලූ විට එය SpaceX සමාගමේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වෙන තරමේ අතිසාර්ථකත්වයකින් අවසන් වූ බව කිව හැකියි.
“බොහෝ ටයිල් ගණනක් නැති වී ගියත්, එක flap එකක් හානියට පත් වුණත්, Starship මුහුදට සුමට ගොඩබැස්මක් සිදු කළා! මේ ජයග්‍රහණය වෙනුවෙන් SpaceX කණ්ඩායමට සුබ පැතුම්!!” SpaceX ප්‍රධාන විධායක නිලධාරී ඊලෝන් මස්ක් X සටහනක් තබමින් සඳහන් කර තිබුණා.
NASA ප්‍රධානී බිල් නෙල්සන් ද සුබ පැතුම් එක්කරමින් සඳහන් කර තිබුණේ මේ පරීක්ෂණ පියාසැරියේ සාර්ථකත්වයත් සමඟ මිනිසාගේ අඟහරු තරණ චාරිකාව සඳහා එක් පියවරක් ඉදිරියට තැබුණු බවයි.
CNN ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්