මේ සමග ඇති ඡායාරූපයේ දැක්වෙන්නේ වසර බිලියන 4.4 ක් පැරැණි සර්කෝන් ස්ඵටිකයක්.
නවතම පර්යේෂණයකින් අනාවරණය කෙරෙන අන්දමට අදින් වසර බිලියන 4 කට පමණ ඉහත දී, එනම් කලින් සිතා තිබුණාටත් වඩා වසර මිලියන 500 කට ඉහතදී පෘථිවියේ මතුපිටට මිරිදිය ජලය කුඩා බිඳු ලෙස වැටී තිබෙනවා.
ඊයේ 2024 ජූනි 3 වෙනි දින Nature Geoscience ජර්නලයේ පළ කර තිබෙන අලුත් ම වාර්තාවක දැක්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ හා චීනයේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් ඉපැරණි ඛනිජ තුළ සිර වී තිබෙන ඔක්සිජන් සමස්ථානික ආධාරයෙන් අලුත උපන් අපේ මාතෘ ග්‍රහලොවේ සම තෙත් කළ මිරිදිය ජලය පිළිබඳ පළමු සළකුණු නිශ්චය කරගෙන ඇති බවයි.
බටහිර ඕස්ට්‍රේලියාවේ පිහිටි කඳුවැටියක් වන Jack Hills ප්‍රදේශය පෘථිවි කබොලේ උෂ්ණත්වය හා පීඩනයේ බලපෑමෙන් නොවෙනස් ව අදටත් ඉතිරි වී තිබෙන පැරණිතම ඛනිජ නිධානයක් ලෙස පිළිගැනෙනවා.
වසර බිලියන 4.404 ක් පැරණි මේ ඉපැරැණි ම ඛනිජ වර්ගය හඳුන්වන්නේ හේඩියන් සර්කෝන් ( Hadean Zircon ) ස්ඵටික ලෙසයි.
එතරම් දුරාතීතයේ දූවිලි වැකුණු, වියලි, රත්පැහැ, නෑඹුල් පොළොව මතුපිටයට ජලය යහමින් ලැබුණෙ නැහැ.
එහෙත් ඉහත හේඩියන් සර්කෝන් ස්ඵටික තුළ සිර වුණු ලොව පැරණිතම වර්ෂාවන් පිළිබඳ සාක්ෂි විද්‍යාඥයින්ට සොයාගැනීමට හැකි වීම අපේ ග්‍රහලොවේ ජල විද්‍යාත්මක ඉතිහාසය අවබෝධ කර ගැනීමට ආධාරයක් වනු නිසැකයි.
“මෙම සර්කෝන් ඛනිජයේ කුඩා ස්ඵටිකවල වයස සහ ඔක්සිජන් සමස්ථානික පරීක්ෂා කිරීමෙන් වසර බිලියන හතරකට පෙර අසාමාන්‍ය ලෙස සැහැල්ලු සමස්ථානික සළකුණු අපි සොයා ගත්තා.”
ඉහත වාර්තාවේ ප්‍රධාන කතුවර හා ඕස්ට්‍රේලියාවේ කර්ටින් සරසවියේ භූ විද්‍යාඥ Hamed Gamaleidien එසේ සඳහන් කරනවා.
එවැනි සැහැල්ලු ඔක්සිජන් සමස්ථානික පෘථිවි පෘෂ්ටයට යටින් ඇති පාෂාණවලින් උණුසුම් මිරිදිය ජලය වෙනස් වීම නිසා ඇති විය හැකි ප්‍රතිඵලයක් බව ඔවුන් පෙන්වා දෙනවා.
Nature Geoscience ඇසුරෙනි.
ප්‍රේමශාන්ත කුමාරසිරි