ඇතැම් පුරාවිද්‍යාත්මක සොයාගැනීම් උද්වේගකර මෙන් ම ව්‍යාකූලජනක ද වනවා. එසේ ම ඇතැම්වා තරමක් ගූඪ ස්වරූපයෙන් ද යුතු වනවා. මෙවැනි පුරාවිද්‍යාත්මක සොයාගැනීමක් සිදු කරන්නට නොර්වේ රාජ්‍යයේ පුරාවිද්‍යාඥයන් සමත් ව තිබෙනවා. ඔවුන් සොයාගෙන තිබෙන්නේ වසර 2500කට එහා ඉතිහාසයක් ඇති සුසාන භූමියක්.
විශේෂත්වය වන්නේ මෙහි ඇති ප්‍රධානතම සොහොන් වළවල් පොකුරේ තිබිය දී සොයා ගත් පුද්ගලයන් 39 දෙනෙකුට අයත් අස්ථි කොටස් විශ්ලේෂණය කිරීමෙන් පසු, ඒවා අවුරුදු 6ට අඩු වයසේ දී මියගිය දරුවන්ට අයත් බව තහවුරු වීමයි. මේ අස්ථි කොටස් ආදාහන ක්‍රියාවලියේ දී නො දැවී ඉතිරි ව තිබූ ඒවායි.
වැඩුණු පුද්ගලයන්ට අයත් අස්ථි කොටස් තැන්පත් ව තිබූ තවත් සොහොන් වළවල් දෙකක් මේ පොකුරෙන් වෙන් ව, නුදුරේ පිහිටා තිබෙනු දක්නට ලැබුණා.
කෙසේ නමුත් පුරාවිද්‍යාඥයන් පවසන පරිදි මේ සොයාගැනීමෙන් පමණක් එය නරබිලි දීමක් සිදු කරන ලද ස්ථානයක් බව නිගමනය කිරීමට නො හැකියි. ඒ වසර 2500කට ඉහත කාලය ළදරු මරණ අනුපාතිකය අතින් ඉහළින් පැවති යුගයක් බව විශ්වාස කළ හැකි නිසයි. නමුත් මෙතැන ඇති ගැටලුව නම් කුඩා දරුවන්ගේ සොහොන් ගෙවල් වැඩිහිටියන්ගෙන් වෙන් ව හුදකලා කර තිබෙන්නේ ඇයි ද යන්නයි.
“මේ මුළු ක්ෂේත්‍ර වපසරිය පුරා ම යම් සුවිශේෂත්වයක් එලී තිබෙනවා.” කැනීම සිදු කළ පර්යේෂණ කණ්ඩායමට මූලිකත්වය සැපයූ, Oslo නුවර සංස්කෘතින ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයේ පුරාවිද්‍යාඥ Guro Fossum සඳහන් කරනවා. “සොහොන් බිම වටා ඇති ඉවුම් පිහුම් සිදුකළ ස්ථාන සහ ගිනිමැල ගසන ලද ස්ථාන පෙන්නුම් කරනවා, මළගිය අය සමරමින් වම් චාරිත්‍රමය වතාවත් සිදු වී ඇති බව.”
මේ සොහොන් බිම අයත් වන්නේ ලෝකඩ යුගය සහ යකඩ යුගය අතර සංක්‍රාන්තිමය කාල සීමාවකටයි. පර්යේෂකයන් පෙන්වා දෙන පරිදි මෙහි සිදු වී ඇති භෂ්මාවශේෂ තැන්පත් කිරීම් වැඩිමනක් සිදු වී ඇත්තේ ක්‍රිස්තු පූර්ව 800ත් 200ත් අතර කාලය තුළයි. එසේ ම එය පිහිටා තිබී ඇති බවට විශ්වාස කෙරෙන්නේත්, මානව ජනාවාසවලට ආසන්න බිම් කඩකයි. එනිසා මේවා යම් අඳුරු බලවේග වෙනුවෙන් සිදු කරන ලද ‘රහසිගත බිලිදීම්’ නො වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව පර්යේෂකයන් විශ්වාස කරනවා.
Science Alert ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්