Wood’s cycad නමින් හැඳින්වෙන Encephalartos woodii නම් විශේෂයට අයත් විවෘතබීජක ශාකයක් වන මේ ශාකය දැනට ලොව ඉතිරි ව තිබෙන එම විශේෂයට අයත් එක ම සාමාජිකයායි.
1895 වසරේ දී දකුණු අප්‍රිකානු උද්භිද විද්‍යාඥ ජෝන් මෙඩ්ලි වුඩ් විසින් දකුණු අප්‍රිකාවේ KwaZulu – Natal හි පිහිටි Ngoye වන රක්ෂිතය තුළින් සොයාගත් මේ ශාකය අයත් වන්නේ ඩයිනොසෝරයන් මිහි මත ඇවිදීමටත් පෙර, එනම් වසර මිලියන 300 කටත් වඩා ඉහත දී මුලින්ම පහල වූ ශාක විශේෂයකටයි.
මෙම සයිකඩ් වර්ගයේ විවෘතබීජක ශාකවල ප්‍රජනනය සිදු වන්නේ වෙන් වෙන් පිරිමි හා ගැහැනු ශාකවල වැඩෙන කේතු (Cones) නමින් හැඳින්වෙන ප්‍රජනක ව්‍යුහයන් ආධාර කරගෙනයි.
කෙසේ වෙතත් Encephalartos woodii විශේෂයේ ශාකවලින් වැඩෙන මුල් මඟින් ද නව ශාක බිහි වන අතර උද්භිද විද්‍යාඥයින් මේ හුදකලා පිරිමි ශාකයේ මුල්වලින් වැඩුණු ජනිත ශාක 500 ක් පමණ අලිංගික ප්‍රජනනයෙන් බෝ කර ලොව පුරා උද්භිද උද්‍යානවල වැඩෙන්නට සලස්වා තිබෙනවා.
එසේ වුවත් මේ ශාක විශේෂයේ දිගු කාලීන පැවැත්ම සඳහා ලිංගික ප්‍රජනනය සිදු වීම අත්‍යවශ්‍ය සාධකයක් වනවා.
එයට අවශ්‍ය සංසේචන ක්‍රියාවලිය සඳහා ගැහැනු ශාකයක් සොයාගැනීම පිණිස විද්‍යාඥයින් ඩ්‍රෝන යානාවල සවි කරන ලද කෘත්‍රිම බුද්ධි ඇල්ගොරිතමයන් ආධාරයෙන් ගවේෂණයේ යෙදෙනවා.
පසුගිය කාලය තුළ මේ අයුරින් Ngoye වන රක්ෂිතයේ හෙක්ටයාර 4,000 ක ප්‍රමාණයක් ගවේෂණය කර තිබෙන්නේ ලොව ස්වාභාවික ව වෙසෙන මේ හුදෙකලා පිරිමි විවෘතබීජක ශාකයට තම ලිංගික ප්‍රජනනයට ඇවැසි සහකාරි ශාකයක් සොයන්නටයි.
Live Science ඇසුරෙනි.
ප්‍රේමශාන්ත කුමාරසිරි