Home Science News ලොව විසූ දැවැන්ත ම අප්‍රිකානු අලියෙකු වන ‘ක්‍රේග්’ මිය යයි

ලොව විසූ දැවැන්ත ම අප්‍රිකානු අලියෙකු වන ‘ක්‍රේග්’ මිය යයි

by Sathya

අප්‍රිකාවේ විසූ විශාලතම අලියෙකු ලෙස සැලකෙන කෙන්යාවේ ‘ක්‍රේග්’ නමැති ඇතා මියගොස් තිබෙනවා.

දකුණු කෙන්යාවේ අම්බොසෙලි ජාතික වනෝද්‍යානයේ වාසය කළ මෙම දැවැන්තයා, පසුගිය සෙනසුරාදා උදෑසන ස්වභාවික හේතූන් මත මියගිය බව සංරක්ෂණ නිලධාරීන් තහවුරු කළා.

​”ක්‍රේග් මියයන විට වයස අවුරුදු 54ක් පමණ වුණා. ඔහු දීර්ඝ කාලයක් ජීවත් වූ අතර, නිසැක ව ම බොහෝ පැටවුන්ට පියෙකු වන්නට ඇති,” යනුවෙන් අම්බොසෙලි අලි භාරය සිය ශෝක පණිවුඩයේ සඳහන් කර තිබුණා.

​ටැන්සානියානු දේශසීමාව අසල පිහිටි මෙම වනෝද්‍යානය වෙත ජන ආකර්ෂණය සඳහා ප්‍රධාන හේතුවක් වුණේ ක්‍රේග් සතු වූ ඉතා දිගු, අතිවිශාල දළ යුගලයයි. 2021 වසරේ දී, කෙන්යාවේ ජනප්‍රිය මධ්‍යසාර සන්නාමයක් වන ‘Tusker’ හි සන්නාම තානාපතිවරයෙකු ලෙස ද ක්‍රේග් නම් කරනු ලැබුණා.

​කෙන්යානු වනජීවී සේවය ක්‍රේග්ව හඳුන්වනු ලැබුවේ සාර්ථක සංරක්ෂණයේ ‘සංකේතයක්’ ලෙසයි.

​”ක්‍රේග් යනු අප්‍රිකාවේ ඉතිරි ව සිටි අවසන් ‘සුපිරි දළ ඇතුන්’ (Super Tuskers) ගෙන් අයෙක්. මෙවැනි ඇතුන්ගේ එක් දළයක බර කිලෝග්‍රෑම් 45 ඉක්මවනවා. වර්තමානය වන විට මෙවැනි ඇතුන් ජීවත් වන්නේ අතළොස්සක් පමණක් වන අතර, ඔහු අප්‍රිකාවේ ස්වභාවික උරුමයේ ජීවමාන ස්මාරකයක් බඳු වුණා. ඔහුගේ ඉතා සන්සුන් ස්වභාවය නිසා බොහෝ දෙනාගේ ආදරයට පාත්‍ර වුණා වගේ ම සංචාරකයින්ට ඡායාරූප ගැනීමටත් වීඩියෝ කිරීමටත් ඉඩ දෙමින් ඔහු ඉතා ඉවසීමෙන් කටයුතු කළ” බව කෙන්යා වනජීවී ආයතනය වැඩිදුරටත් සඳහන් ක⁣ළා.

​”ඔහුගේ ආරක්ෂකයින් රැසකගේ කැපවීම නිසා, ඔහුට සාමකාමීව ස්වභාවික ලෙස මිය යාමට අවස්ථාව ලැබුණා.” ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා.

​පසුගිය වසරේ දී මිලියන දෙකකට අධික සංචාරකයින් පිරිසක් කෙන්යාවේ සංචාරය කළ අතර, ඔවුන්ගෙන් බහුතරයකගේ අරමුණ වූයේ එරට ලෝක ප්‍රකට ජාතික වනෝද්‍යානවල වෙසෙන වනජීවීන් නැරඹීමයි.

BBC ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

 

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications