නවවෙනි බදාදා

ඔන්න අද අපි වෙනස් දෙයක් ගැන තමයි කතා කරන්න යන්නේ. මතකද දවසක් ඔයාලා ඇහුවාම ”බබා කොහොමද ගර්භාශෙ ඇතුලට එන්නේ?”‍ කියලා මම කිවුවා නෙ ඒක අපි පස්සෙ දවසක කතා කරනවා කියලා. ඔන්න අද අපි ඒ ගැන කතා කරනවා.
ඔයාලා දන්නවා නේ ඕනෙම ළමයෙක් ගත්තාම එයාට එයාගෙ අම්මගෙ වගේම තාත්තගෙ ලක්ෂණ මොනවා හරි තියෙනවා. කන් දෙක අම්මගෙ වගේ, නහය තාත්තගේ වගේ. පාට අම්මගෙ වගේ. උස තාත්තගෙ වගේ. අම්මයි තාත්තයි දෙන්නම උසයි නම් ළමයත් උසයි. ඔන්න ඔය වගේ දේවල් ඔයාල ආහලා දැකලා තියෙනවා නේද ?
ඔව් ටීචර්. අපේ අම්මගෙයි මගෙයි දෙන්නගෙම කොන්ඩෙ එකම වගේ. හැබැයි අපේ තාත්තටත් තියෙන්නේ මගේ වගේම ලොකු ම ලොකු කන් දෙකක්.
හරි එහෙනම් ඔයාලට තේරෙන්න ඕනෙ බබෙක් හැදෙන්න අම්මගෙයි තාත්තගේයි දෙන්නගෙන්ම දේවල් ලැබෙන ඕන කියලා. නැත්නම් එහෙම වෙන්න බෑ නේ ද ?
ඉතින් ටීචර් කොහොමද එහෙම වෙන්නේ ? අපි හැදෙන්නේ අම්මගෙ බඩ ඇතුලේ නේ ?
ඉන්නකො මම කියන්න.
ඔයාලට මතකද අපි ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ගැන ඉගෙනගනිද්දී ඩිම්බකෝෂ කියලා දෙයක් ගැන කිවුවා. අන්න ඒ ඩිම්බකෝශ ඇතුලේ තමයි ඩිම්බ තියෙන්නේ. මෙන්න මේ ඩිම්බ වල තමයි බබෙක්ට අම්මගෙන් එන ලක්ෂණ ටික ගබඩා කරලා තියෙන්නේ.
පුරුෂ ප්‍රජනක පද්ධතිය ගැන ඉගෙනගද්දී අපි ඉගෙනගත්තා ශුක්‍රාණු කියලා දෙයක් ගැන. මෙන්න මේ ශුක්‍රාණු වෘශණ කෝශ ඇතුලේ හැදිලා ගබඩා වෙලා තියෙනවා. ඇත්තටම කියනවා නම් හැම වෙලාවකම ඇහැට නොපෙනෙන ශුක්‍රාණු මිලියන ගණනක් පිරිමි අයගේ වෘශණ කෝශ ඇතුලේ ගබඩා වෙලා තියෙනවා. ඔන්න ඔය් ශුක්‍රාණු වල තමයි බබෙක් ට තාත්තාගෙන් එක ලක්ෂණ ටික ගබඩා කරලා තියෙන්නේ.
දැන් ඔයාලට තේරෙන්න ඕන බබෙක් හැදෙන්න නම් මේ අම්මගෙ ලක්ෂණ තියෙන ඩිම්බයි , තාත්තගේ ලක්ෂණ තියෙන ශුක්‍රාණුයි එකට එකතු වෙන්න ඕනෙ කියලා. හරි නේද ?
ඔව් ටීචර්.
එතකොට කොහොමද මේ වැඩේ වෙන්නේ ?
ඉස්පිරිතාලෙට ගියාම ඩොක්ටර් අංකල් තාත්තගේ ශුක්‍රාණුවක් අරගෙන අම්මගෙ බඩ ඇතුලට දානවා ඇති?
ඔයාලට මතකද අපි මුල්ම දවසේ කතා වුණා මිනිස්සු වගේම අනික් සත්තුත් පැටවු දානවා කියලා. අපි ගමු අපේ ගෙදර ඉන්න පූසා. එයාලාගෙත් පැටවු හැදෙන්නේ මෙන්න මේ විදිහට පූස් අම්මගෙ ඩිම්බයි පූස් තාත්තගේ ශුක්‍රාණුයි එකතු වෙලා තමයි. ඒත් ඉතින් එයාලා ඉස්පිරිතාලෙ ගිහින් ඩොක්ටර් අංකල් ලා ව මුනගැහෙන්නේ නෑ නෙ. ඒත් පැටවු හම්බවෙනවා නෙ.
එතකොට කොහොමද ටීචර් ඒක වෙන්නේ ?
ඔන්න ගැහැණු කෙනෙක් ගේ ඩිම්බ කෝශයෙන් ඩිම්බයක් පිටවෙලා ඒක හිමින් හිමින් එනවා ගර්භාශය දිහාවට. අන්න ඒක එන වෙලාවට ගර්භාශය ඇතුලට ශුක්‍රාණුවක් ඇවිත් තිබුණොත් ඒ වෙලාවට ඩිම්බයයි ශුක්‍රාණුවයි එකතු වෙලා බබෙක් හැදෙන්න පටන් ගන්නවා. ඔයාලට මතකද අපි මුලින් ම ඉගෙන ගත්තා ගර්භාශය ඇතුලට බබෙක් එන්නේ ඇහැට පේන්නේ නැති තනි සෛලයක් හටියට කියලා. අන්න එදා මම කිවුවේ ඔය ඩිම්බයයි ශුක්‍රාණුවයි එකතු වෙලා හදන ඔය සෛලය ගැන තමයි. ඔයාලට මතක ඇති ඊට පස්සෙ ඒ සෛලය බෙදිලා බෙදිලා සෛල ගුලියක් හැදිලා ගර්භාශ බිත්තියේ තැන්පත් වුනාම තමයි අපි කියන්නේ ගෑනු කෙනෙක් ගර්භනී වෙලා , නැත්නම් ප්‍රෙග්නන්ට් වෙලා කියලා.
දැන් තේරෙනව නේද වැඩේ ?
ඔව් ටීචර්.
හරි මම දැන් ප්‍රශ්නයක් අහනවා. ඩිම්බය තියෙන්නේ ගර්භාශය ඇතුලේ නම්, ඩිම්බයට ශුක්‍රාණුව හම්බවෙන්නත් ඕනෙ නම්, ඩොක්ටර් අන්කල් ඔපරේශන් කරලා ශුක්‍රාණුව ගෑණු කෙනගෙ ඇඟ ඇතුලට දාන්නෙත් නැත්නම් ශුක්‍රාණුවට කොහෙන්ද ගර්භාශය ඇතුලට යන්න පුලු‍වන් ?
ටීචර් කිවුව නේද ගර්භාශයේ යට කෙලවර යෝනි මාර්ගය කියන බටයක් වගේ එකෙන් එළියට විවෘත වෙනවා කියලා. ඒකෙන් නේ බබා එළියට එන්නෙත්. ඉතින් ඔය යෝනි මාර්ගය ඇතුලෙන් ගියොත් ශුක්‍රාණුවට පුලු‍වන් නේද ගර්භාශය ඇතුලට ගිහින් ඩිබය එක්ක එකතු වෙන්න ?
ශා ඔයාලා හරිම දක්ෂයි නේ. ඔව් හරියටම හරි ශුක්‍රාණුව කොහොමහරි යෝනි මාර්ගයට ආවොත් එයාට පුලු‍වන් ගර්භාශය ඇතුලට ගිහින් ඩිම්බය එක්ක එකතු වෙන්න.
අන්න ඒක වෙන හැටි අපි ඊලඟ දවසේ කතා කරමු.
හැමෝම එනවා නේද එදාට?

වෛද්‍ය නුවන් තොටවත්ත MBBS, MSc (ප්‍රජා වෛද්‍ය විද්‍යාව)

Related posts

සගයෙක් වෙයි, නිරතුරු අප හා යනෙන

හිස්බුල්ලා හිස් සුන් කළ පේජර් පිපුරුම

දුකම කොයි තරම් සතුටක් දෝ…