Home Science News අබිරහසක් විසඳමින් වැම්පයර් දැල්ලාගේ ජීනෝමය හෙළිකර ගැනේ

අබිරහසක් විසඳමින් වැම්පයර් දැල්ලාගේ ජීනෝමය හෙළිකර ගැනේ

by Sathya

සෙෆලෝපෝඩාවුන්ගේ පරිණාමයේ මෙතෙක් පිරවිය නො හැකි වූ හිස්තැනක් වූයේ දැල්ලන් වැනි වූ ස්වරූපයෙන් යුතු වූ අතීත මුතුන්මිත්තන් වර්තමාන බූවල්ලන් දක්වා පැමිණියේ කෙසේ ද යන්නයි. දැන් විද්‍යාඥයන් පවසන්නේ ඊට පිළිතුරු සාගරයේ ම පිහිනමින් සිටින බවයි.

ඔවුන් මේ සොයාගැනීම සිදුකර ඇත්තේ අවතාරයක් සිහිගන්වන කාන්තිමත් දෑසක් සහ අඬු අටක් හිමි, කළු පැහැයට හුරු අඳුරු රතු පැහැයක සිරුරකින් යුතු Vampyroteuthis infernalis දැල්ලන් විශේෂයේ ජීනෝමය හෙළිකරගන්නට සමත් වීමත් සමඟයි. සාමාන්‍ය ව්‍යවහාරයේ දී වැම්පයර් දැල්ලා යනුවෙන් හැඳින්වෙන මේ විශේෂයට විද්‍යාත්මක නම යෙදී ඇත්තේ ද එම නම අනුසාරයෙන්මයි.

ඉකුත් නොවැම්බර් 27 දා iScience ජර්නලයේ පළ වූ අධ්‍යයනයකට අනුව Vampyrotheuthis ගේ හෙළි කරගත් ජීනෝමය අධ්‍යයනයේ දී පෙනී ගොස් ඇත්තේ ඔවුන් බූවල්ලන්ගේ ගෝත්‍රයට අයත් විශේෂයක් වුවත් ඔවුන් සතු ක්‍රොමෝසෝම දැල්ලන් හට බොහෝ සෙයින් සමානකම් පාන බවයි.

මෙම සොයාගැනීම මඟින්, වසර මිලියන 300 කට පෙර බූවල්ලා සහ දැල්ලන් පරිණාමීය වශයෙන් අපසරණය වූ අවස්ථාවේ දී නූතන දැල්ලන්ගේ සහ බූවල්ලන්ගේ පොදු පූර්වජයා ජානමය මට්ටමින් කෙබඳු වූවා ද යන්න පිළිබඳ ඉඟියක් ලබාගත හැකි වනවා. එම නිසා පර්යේෂකයන් පවසන්නේ වැම්පයර් දැල්ලා “ජීවමාන පොසිලයක්” ලෙස ද හැඳින්විය හැකි බවයි.

සෙෆලෝපොඩ් පරිණාමීය ගසෙහි, වැම්පයර් දැල්ලා අයත් වන්නේ බූවල්ලන් ඇතුළත් කණ්ඩායමට ම වුවත් එය එම ක්ලේඩයේ සෙසු කොටසින් “ඉතා ම පැරැණි බෙදීමකට” ලක් වූ බව මෙම අධ්‍යයනයේ ප්‍රධාන කතුවරයා වන, ඔස්ට්‍රියාවේ වියානා විශ්ව විද්‍යාලයේ ස්නායු විද්‍යා හා සංවර්ධන ජීව විද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂකයෙකු වන ඔලෙග් සිමාකොව් සඳහන් කරනවා.

බටහිර පැසිෆික් සාගරයේ පර්යේෂණ නෞකාවකින් අහම්බෙන් අල්ලාගත් වැම්පයර් දැල්ලෙකුගෙන් ලබාගත් පටක සාම්පලයක් ලබා ගැනීමෙන් පසු, පර්යේෂකයන් එම සාම්පලයේ DNA අනුක්‍රමණය කිරීම සඳහා PacBio නම් ජානමය විශ්ලේෂණ වේදිකාවක් භාවිතා කර තිබුණා. අවාසනාවකට මෙන්, වැම්පයර් නියැදිවල දුර්ලභත්වය හේතුවෙන් එය සැසඳීමට වෙනත් වැම්පයර් දැල්ලන් සාම්පල තිබුණේ නැහැ. PacBio භාවිතා කරමින්, පර්යේෂකයන් වැම්පයර් දැල්ලාගේ ජීනෝමය, Argonauta hians Octopus vulgaris සහ Eledone cirrhosa වැනි වෙනත් සෙෆලෝපොඩාවන්ගේ ජීනෝම සමඟ සසඳා බලා තිබුණා.

මෙම සොයාගැනීම් අනුව වැම්පයර් දැල්ලාගේ ජීනෝමයේ පාදක යුගල බිලියන 11ක් තරම් දීර්ඝ බව හෙළි වුණා. මෙය මිනිස් ජීනෝමයේ ප්‍රමාණය මෙන් හතර ගුණයක් පමණ වන අතර, මේ දක්වා අනුක්‍රමණය කරන ලද විශාලතම සෙෆලෝපොඩ් ජෙනෝමය ද වනවා.

නූතන බූවල්ලන්ගේ DNA නිරන්තරයෙන් ප්‍රතිසංවිධානය වී, ඇතැම් වර්ණදේහ මිශ්‍රවීම් ඇති කරන අතර, පර්යේෂකයන් සොයා ගත්තේ වැම්පයර් දැල්ලාගේ ජීනෝමයේ පූර්වජ, දැල්ලන්ට අයත් වර්ණදේහ සැකැස්ම බොහෝ දුරට රඳවා ගෙන ඇති බවයි. ඒ අනුව පෙනෙන්නේ උන් ජානමය වශයෙන් පුරාණ දැල්ලෙකු මෙන් පෙනෙන බූවල් වර්ගයක් බවයි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications