නැස්කා චිත්‍ර 168ක් අලුතෙන් හඳුනා ගැනෙයි

පේරු රාජ්‍යයේ පිහිටන නැස්කා තැන්න (Nazca Plain) ජනතා සිත් දිනූ තැනක් බවට පත් ව තිබෙන්නේත්, UNESCO ලෝක උරුමයක් ලෙස සැලකෙන්නේත් එහි භූමිය මත ඇඳි යෝධ නැස්කා චිත්‍ර හේතුවෙන්. මේවා කෙතරම් විශාලත්වයකින් යුතු දැ යි කිවහොත්, ඇතැම් රූපවල අර්ථය පැහැදිලි වන්නේ ගුවනේ සිට බැලූ විට දී පමණයි. මේවා අඳිනු ලැබුණේ කුමන නිශ්චිත අරමුණක් අරබයා ද යන්න අදටත් පවතින්නේ හෙළි නො වූ අබිරහසක් ලෙසයි.

පසුගිය වසර 2 පුරා සිදු කළ ක්ෂේත්‍ර අධ්‍යයන සහ ඩ්‍රෝන ඡායාරූපකරණයන් මඟින් මෙතෙක් කල් සැඟ ව තිබූ තවත් පෞරාණික රූප 168ක් අලුතෙන් හඳුනාගන්නට පේරුවියානු සහ ජපාන පර්යේෂණ කණ්ඩායමක් සමත් වී තිබෙනවා. 

වසර 2,000 කට වඩා පැරැණි ඉතිහාසයකට උරුමකම් කියන මේ චිත්‍ර ඇසුරින් මිනිස් රූපත්, බළලුන්, තල්මසුන් සහ ඒ අවට ආවේණික සතුන්ගේ රූපත් නිරූපණය වනවා.

මේ ගවේෂණයේ ප්‍රධාන පුරාවිද්‍යාඥයා ලෙස කටයුතු කළ Jorge Olano පවසන්නේ මෙසේ අලුතින් සොයාගත් රේඛා චිත්‍ර මීටර 2 – 6ත් අතර සාමාන්‍ය දිගකින් යුක්ත වන බවයි. මෙසේ සොයාගත් නව රේඛා චිත්‍ර පෙර සොයාගෙන තිබූ ඒවා මෙන් අහසට පමණක් පෙනෙන පරිදි තැනූ දැවැන්ත නිර්මාණ නොවෙයි. ඒවා පොළොව මත සිටගෙන සිටිය දී වුව සම්පූර්ණ වශයෙන් දැකගත හැකි බවයි ජපාන පාර්ශ්වයේ ප්‍රධානී Yamagata විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මසාටෝ සකායි සඳහන් කරන්නේ.

2004 වසරේ සිට මේ දක්වා නැස්කා චිත්‍ර 190ක් පමණ හඳුනාගනු ලැබ තිබුණත් ඒවා සුවිසල් භූමි ප්‍රදේශයක් පුරා ම විසිර ඇති බැවින් සූක්ෂ්ම ව කෙරෙන අධ්‍යයනයන් වඩාත් සංකීර්ණ වී තිබෙනවා. මේ පර්යේෂණයෙන් රැස් කරගත් තොරතුරු කෘත්‍රිම බුද්ධිය යොදා ගැනෙන ඉදිරි බිම් මැනුම් කටයුතු සඳහා වැදගත් වනු ඇතැයි ජපානයේ Yamagata විශ්වවිද්‍යාලය සඳහන් කරනවා. 

රොයිටර්ස් පුවත් සේවය ඇසුරිනි.

සත්‍ය හෙට්ටිආරච්චි

Related posts

රතු වාමන තරු ග්‍රහලෝක ගිල දමන බවට සාක්ෂි හමුවෙයි

Blue Origin සමාගමේ New Glenn රොකට්ටුව පූර්ව දියත් කිරීමේ පරීක්ෂණයක් අතරතුර පිපිරී යයි

Moon Base I මෙහෙයුම ජෙෆ් බෙසෝස්ගේ Blue Origin සමාගමට